ගෝල්ඩන් කී අවුල ලිහන්න ඇමැති බැසිල් මැදිහත් වෙයි දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka Dinamina Online Edition - Cartoons දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka ඉගෙන ගන්න - සපත්තුවක්!

ගෝල්ඩන් කී අවුල ලිහන්න ඇමැති බැසිල් මැදිහත් වෙයි

වසර හතරක් තිස්සේ සිය වත්කම් පිළිබඳව බලාපොරොත්තු අතහැර දමා තිබූ ගෝල්ඩන් කී තැන්පත්කරුවෝ තම මුදල් ආණ්ඩුවේ මැදිහත් වීම මත ලැබෙනු ඇතැයි ද එය අගය කරන බවද සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ භූමියෙන් ඊයේ (12) පිටව ගියහ.

ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපති වසන්ත ගුණතිලක මහතා මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කළේ ආසියාවේ විශාලම මුදල් වංචාවෙන් පීඩා විඳින තැන්පත්කරුවන්ගේ බලාපොරොත්තු මුදුන් පැමිණවීමට රජය හා ආණ්ඩුව දරන ප්‍රයත්නය අගය කරන බවත්, ආණ්ඩුව විශ්වාස කරන බවත්ය.

වසර හතරක් තිස්සේ ගෝල්ඩන් කී තැන්පත්කරුවන් දුක් විඳි බවත්, වසර තුනකට වැඩි කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කළ බවත් තැන්පත්කරුවෝ පැවසූහ.

රුපියල් බිලියන 26 බේරා ගැනීමට අධිකරණය ඉදිරියට පැමිණි තමන්ට ආණ්ඩුව මගින් යම් සහනයක් සලසන්නේ නම් ඊට කෘතඥතාව පළ කරන බවද අධිකරණ තීන්දුවලට ගරුකරන බවද ඔවුහු පැවැසූහ.

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට අගතියක් නොවන පරිදි ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුව මැදිහත් වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා කළ දැනුම් දීමෙන් පසුව මේ අදහස් පළ කෙරිණි.

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ ප්‍රශ්නය විසඳීමට මැදිහත් වී ඇතැයි තිලංග සුමතිපාල මහතා ඊයේ (12) හෙළි කෙළේය.

උද්ගත ගැටලු නිරාකරණය කර තැන්පත් මුදල් ආපසු ගෙවීම පිළිබඳ සාකච්ඡා කිරීමට කොතලාවල පාර්ශ්වයට ආරාධනා කර ඇති බව පෙන්වා දුන් තිලංග සුමතිපාල මහතා මේ පෙත්සම් දෙසැම්බර් 4 දින ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවන බැවින් නීත්‍යානුකූල තත්ත්වය අවබෝධ කරගනිමින් ඊට අගතියක් නොවන පරිදි ක්‍රියාත්මක වන බවද පැවසීය.

තිලංග සුමතිපාල මහතා මෙසේද පැවැසීය.

ශ්‍රේෂ්ඨාධිකරණය පිළිබඳ අපේ විශ්වාසයක් තිබුණා. උසාවියෙන් සාධාරණයක් තැන්පත්කරුවන්ට ඉටුවේ යැයි බලා හිටියා. නමුත් වසර 4ක කාලයක් ගතවෙලත් විසඳුම් නෑ. වටවල කමිටුවේ තිදෙනකුට මසකට රුපියල් ලක්ෂ 6ක් ගෙවනවා. මේ තැන්පත්කරුවන්ගේ මුදල්. අගවිනිසුරුවරිය අද පෙත්සම් විභාගයෙන් ඉල්ලා අස්වුණා. එම ඉල්ලා අස්වීමට කරුණු යෙදිලා තිබුණා.

මේ තැන්පත්කරුවෝ මුදල් තැන්පත් කරලා තියෙන්නේ සක්විති ලඟවත්, දඬුවම් මුදලාලි ළඟවත් නෙවෙයි. මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක.

මෙය අධ්‍යයනය කරලා ආණ්ඩුව මගින් රජයට කරුණු දෙකක් යටතේ මේ ඉල්ලීම කිරීමට බලාපොරොත්තු වෙනවා.

ගෝල්ඩන් කී වත්කම් රජයට පවරාගෙන එම ගොඩනැගිලි විකුණලා තැන්පත්කරුවන්ට මුදල් ලබාදීමට හා පාර්ලිමේන්තුවට මේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීම මගින් සහන ලබාදෙන්න සැලසුම් සකසනවා. ආණ්ඩුව මගින් එම සැලසුම් සකස්කර සහන සලසන වැඩපිළිවෙළට සියලු දෙනා එකඟවිය යුතු බවද සහයෝගය ලබාදිය යුතු බවද සුමතිපාල මහතා සඳහන් කෙළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා