|
||||
උපුල් තරංගගේ ඉනිම වැස්සට සේදෙයි අවසන් එක්දින තරගය ජයපරාජයක් නෑ
විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු උපුල් තරංගගේ අර්ධ ශතකයේ වටිනාකම සෝදා හරිමින් ඊයේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයට පතිත වූ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නවසීලන්තයට එරෙහිව පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගය ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය. කාසියේ වාසිය දිනූ නවසීලන්ත පිලේ නායක රෝස් ටේලර්ගේ ඇරැයුමෙන් ශ්‍රී ලංකා පිල පන්දුවට පහරදෙමින් සිටියදී පස්වරු 4.40ට පිටියට ඇද හැලුණු වර්ෂාව රාත්‍රී 8.25 වනවිටත් එක්දිගටම පැවැතිණි. ඒ වනවිට ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 123ක් රැස්කර තිබූ අතර ශ්‍රී ලංකා ඉනිමේ ඕවර 28.3ක් අවසන් වී තිබිණි. ඒ අනුව පැය තුනකුත් මිනිත්තු 40කට පසුව තරගය ජයපරාජයෙන් තොරව නිමාවට පත්කිරීමට තරග විනිසුරුවරුන් තීරණය කළහ. සාර්ථක පිතිහරඹයක නිරත වූ උපුල් තරංග පන්දු 94කට මුහුණ දී හතරේ පහර 8ක් සමග ලකුණු 60ක් ලබාගත්තේය. උපනායක ඇන්ජෙලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු නොලබාම දැවී ගිය අතර නායක මහේල ජයවර්ධන ලකුණු 24ක් සහ ළහිරු තිරිමාන්න ලකුණු 17ක් රැස් කළහ. තරග 5කින් සමන්විත ශ්‍රී ලංකා - නවසීලන්ත එක්දින තරගාවලියේ පළමු තරගය ද වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවී තිබූ අතර දෙවැනි, තෙවැනි සහ සිවුවැනි තරගවල ජය හිමිවූයේ ශ්‍රී ලංකා පිලටය. ඒ අනුව තරග 3 -0ක් ලෙස එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගත්තේය. තරගාවලියේ වීරයා සම්මානය නවසීලන්ත පිලේ බී.ජේ.වොට්ලින්ට හිමිවිය. ශ්‍රී ලංකාව – 123/8 (ඕවර 28.3) උපුල් තරංග 60, මහේල ජයවර්ධන 24, ළහිරු තිරිමාන්න 17 ( ටිම් සවුති 18/3, ඇන්ඩෲ එලිස් 22/2) |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |