කප්රුක රැක සෙවණ සැදූ මහරුක

කප්රුක රැක සෙවණ සැදූ මහරුක

අශෝක අධිරාජ්‍යයාගේ පියාණන් වන චන්ද්‍රගුප්ත රජ සමය වැනි ඈත ඉතිහාසයේ සිට ශ්‍රී ලාංකිකයා පොල් පරිභෝජනය කර ඇතැයි ඉතිහාසයේ සඳහන් වේ.ඝර්ම කලාපයේ තාල වර්ගයට අයත් ගසක් වන පොල් ගස ‘කොකෝස් නුසිෆෙරා’ යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ.නාවිකයන් නිසා හෝ, දියවැල් නිසා, පොල්ගස ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී ඇති බව සැලකෙන අතර ඝර්ම කලාපීය දේශගුණයක් ඇති නිසා පොල්ගස ශ්‍රී ලංකාවේ වැවී ඇති බවට සාධක තිබේ.

මෙරට ජනතාවගේ දෛනික ආහාර වේලක අන්තර්ගත ප්‍රධාන අංගයන්ගෙන් එකක් වන්නේද පොල්ය. ආසියාව, බටහිර ඉන්දීය කොදෙව්, මධ්‍යම හා දකුණු අමෙරිකාව, පැසිපික් සාගරයෙ දූපත් , නැගෙනහිර හා බටහිර අප්‍රිකා කලාපයේ රටවල් තිහක පමණ පොල් වගාකරනු ලැබේ. පොල් වගාවේ ඉතිහාසය හා සසඳා බැලීමේදී 1946 වර්ෂය වනවිට මෙරට ජනගහනය 6657300 කි. පොල් වගා බිම් ප්‍රමාණය අක්කර දසලක්ෂ හැත්තෑ හය දහසකි.

මෙරට ජනගහනය ක්‍රමයෙන් වැඩිවීම නිසා වගාකර තිබූ පොල් ඉඩම්, ජනාවාස වෙනුවෙන් කපා දැමීමට පටන් ගැනිණි. නිවාස ඉදිකිරීම හා ගෘහ භාණ්ඩ නිෂ්පාදනය වෙනුවෙන් පොල්ගස් කපා දැමීම ද නිසා පොල් නිෂ්පාදනය අඩුවිය. නමුත් අද වනවිට දෙකෝටි අටලක්ෂ හැටනව දහසක ජනතාව පරිභෝජනය කරන්නේද අක්කර දස ලක්ෂයක ප්‍රමාණයක වගා කළ පොල් ඵලදාවකි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රාජ්‍ය අනුග්‍රහය ඇතිව පොල් වගාව ආරම්භ කරනු ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 545 හේ දෙවැනි අග්බෝ රජ සමයේයි. වැලිගම සිට දෙවුන්දර දක්වා යොදුන් තුනක පොල් වගාවක් දෙවැනි අග්බෝ රජ විසින් ආරම්භ කර ඇතැයි මහා වංශයේ සඳහන් වේ. එතැන් සිට රාජ්‍ය අනුග්‍රහය යටතේ පොල් වගාව රටතුළ ව්‍යාප්ත විය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩසටහන යටතේ පොල් වගාවට විශේෂ අවධානයක් යොමු විය.

පොල් වගාව රටතුළ ව්‍යාප්ත කිරීම, පොල් ඉඩම් සුරක්ෂිත කිරීම, ඵලදාව වැඩි කිරීම, නව පොල් ප්‍රභේද හා වගා ක්‍රම හඳුන්වාදීම, නව තාක්ෂණය වැඩි දියුණු කිරීම හා නව වෙළඳපොළ සංවර්ධනය කිරීම මෙහිදී මූලික වේ. ඒ අනුව පොල් වගාව වැඩිදියුණු කිරීම සඳහා පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යංශයක් පිහිටුවීය. එහි ප්‍රථම ඇමැතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඒ.පී. ජගත් පුෂ්ප කුමාර මහතා පත්කරනු ලැබීය.

පොල් වගාව දියුණු කිරීම සඳහා වාර්ෂික අයවැයෙන්ද විශාල මුදලක් වෙන් කෙරිණි.

අවම සේවක මඬුල්ලක් සමඟ ස්ථිර ගොඩනැගිල්ලක්ද නොමැතිව සිය ධුරයේ වැඩ භාරගත් ජගත් පුෂ්ප කුමාර මහතාට ප්‍රථමයෙන්ම සිදුවූයේ රටපුරා තිබූ පොල් අර්බුදයට මුහුණ දී පොල් මිල පාලනය කිරීමටය.

අතරමැදියන් විසින් වැඩි වාසි ලබා ගැනීම ඉවත් කොට පොල් වගාකරුවාගේ පොල් නිෂ්පාදන කෙළින්ම පාරිභෝගිකයාට ලබාදීමේ ක්‍රමවේදයක් පොල් වගා කිරීමේ මණ්ඩලයේ සහාය ඇතිව ක්‍රියාවට නැංවීය. ඒ අනුව දින කිහිපයක් ඇතුළත පොල් අර්බුදය සමථයකට පත් කිරීමට හැකිවිණි.

පොල් වගාකරුවාගේ ප්‍රධාන ගැටලුව වූයේ පොල් පොහොර යෙදීමය. ඒ සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවිය. මේ පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කිරීමෙන් පසු වී වගාවට පමණක් සීමා වී තිබූ පොහොර සහනාධාරය පොල් වගාකරුවාටද ලබාදීමේ අවස්ථාව උදාකරදීමට හැකිවිය. එමඟින් වාර්ෂික පොල් ඵලදාව විශාල ලෙස ඉහළ ගිය අතර පොල් වගාකරුවන්ගේ නිෂ්පාදන වියදම පොල් ගෙඩියකට රුපියල් හතරකින් (4/-) අඩුවිය.

මේ ආකාරයට පොල් වගාව ව්‍යාප්තවීමත් සමඟ ශ්‍රී ලංකාවට ලෝකයේ හොඳම පොල් වගාකරුවා වීමට හැකිවිය.

මේ අතර මහින්ද චින්තන ඉදිරිදැක්ම අනුව පොල් කර්මාන්තයේ ඵලදායිත්වය, ලාභදායිත්වය හා තිරසාර බව වැඩි කිරීමේ අදහස පෙරදැරිව ඉතිහාසයේ ප්‍රථම වතාවට පොල් ක්ෂේත්‍රය පිළිබඳව පස් අවුරුදු ක්‍රමෝපාය සැලැස්මක් සකස් කෙරිණි. එම සැලැස්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කොට අනුමත කෙරිණ. එයට අනුව 2011 වසරේ සිට 2016 වසර දක්වා රටේ ආහාරමය හා කර්මාන්ත ඉල්ලුම සපුරාලීම සඳහා වසරකට පොල්ගෙඩි මිලියන 3650 දක්වා නිපැයුම වැඩි කිරීමට වැඩසටහන් ආරම්භ කෙරිණි.

2016 වසර වනවිට පොල් පැළ මිලියන තිස් දෙකක් වගා කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණකි.

‘කප්රුකයි සිප් නැණයි’ යන වැඩසටහන යටතේ පාසැල් දරුවන් උපයෝගී කරගෙන පොල් වගා ව්‍යාපෘතියක් දියත් කෙරිණ.

අධ්‍යාපන අමාත්‍යංශය හා ඒකාබද්ධව හය වසර පාසල් සිසුන් හරහා දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයකම පොල් වගා කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරිණ. එක් සිසුවකට පොල් පැළ දෙක බැගින් නොමිලයේ බෙදා දුන්නේ ය. පොල් පැළය සිටවූ දිනයේ සිට ඵලදාව ලබා ගන්නා තෙක් ගසට කෙරෙන සාත්තුව ආදිය සලකා බලා හොඳම පොල් ඵලදාව ලබාගත් පාසල් සිසුවාට උසස්පෙළ අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යංශය කටයුතු කළේ ය.

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වූ ‘දිවි නැගුම’ ජාතික වැඩසටහන යටතේ තෝරාගනු ලැබූ නිවාස සඳහා පොල් පැළ දෙක බැගින් නොමිලයේ ලබාදීමට පොල් වගා කිරීමේ මණ්ඩලය කටයුතු කළේ ය. දිවයිනේ දිස්ත්‍රික්ක විසි එකකින් ආරම්භ කෙරුණ මෙම වැඩසටහන යටතේ 2016 වසර වනවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකසිය අසූවක ව්‍යාප්ත කිරීමට නියමිතය. පොල් වගාකිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය හා පොල් පර්යේෂණ ආයතනය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

පොල් ඵලදාව වර්ධනය කර පොල් ආශ්‍රිත කර්මාන්ත සංවර්ධනය කොට වෙළඳ පළ දියුණු කිරීම ප්‍රධාන අරමුණයි. පොල් වගාකරුවන් හා නිර්මාණකරුවන් දිරිමත් කිරීම සඳහා ඩිමෝ බට්ටා රථ සහන ණය ආධාර මත ලබාදීමට පියවර ගෙන ඇත.

වැලිගම පොල් කොළ මැලවීමේ රෝගයට දකුණු පළාතේ පොල්ගස් තුන්ලක්ෂයක් පමණ 2008 වසරේදී ගොදුරු වී තිබිණි. අනාගතයේ ලංකාවේ පොල් වගාව සුරක්ෂිත කිරීම සඳහා රජය කඩිනමින් පියවර ගත්තේ ය.

රෝගයට ගොදුරු වූ ගස් කපා ඉවත්කොට එම ගස් සඳහා වන්දි මුදලක් ගෙවීමට රජය කටයුතු කළේ ය. රෝගයට ඔරොත්තු දෙන කුන්දිරා විශේෂයක් නිෂ්පාදනය කොට ගොවීනට බෙදාදීමට පියවර ගෙන තිබිණ. පොල් රෝගය පැතිරයාම වළක්වා ගැනීම සඳහා වාර්ෂික අයවැයෙන්ද විශාල මුදලක් වෙන් කෙරිණ.

පොල් මයිටා උවදුර පාලනය කිරීම සඳහා ප්‍රායෝගික වැඩ සටහනක් නොතිබිණ. මේ නිසා ලංකාවේ පොල් වගාවෙන් 17%ක් ප්‍රමාණයක් මයිටා උවදුරට ගොදුරු වී තිබිණ. එවැනි යුගයක ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් දෙපළක් විසින් මයිටා පාලනය කිරීම සඳහා විලෝපිකයකු අභිජනනය කිරීමේ තාක්ෂණය ලොව ප්‍රථම වතාවට සොයා ගැනිණ. ‘නියෝසිලස් බරාකි’ නම් වූ එම විලෝපිතයා අභිජනනය කිරීමේ මධ්‍යස්ථාන 11ක් රටපුරා පිහිටවීමට අමාත්‍යංශය කටයුතු කළේ ය.

රාජ්‍ය අංශය සතු සමාගම් පාඩු ලබන ආයතන ලෙස හංවඩු ගැසී තිබූ මතය ‍ෙවනස් කරමින් පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යංශය සතු සමාගම් දෙකක් වූ කුරුණෑගල හා හලාවත යන වැවිලි සමාගම් දෙක මහා භාණ්ඩාගාරයෙන් යැපීම වෙනුවට මහා භාණ්ඩාගාරය පෝෂණය කිරීමේ කාර්යයේ නියැළී සිටී. හලාවත වැවිලි සමාගම 2009 වසරේ සිට මේ දක්වා මහා භාණ්ඩාගාරය වෙත රුපියල් මිලියන 180ක ලාභාංශද, සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගම 2010 වසරේ සිට මේ දක්වා රුපියල් මිලියන 120ක මුදලක්ද දායක කොට ඇත.

ශ්‍රී ලංකාවේ පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළඳපළ තුළ විශාල ඉල්ලුමක් පවතී. ඒ අනුව ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන අපනයනය කරමින් ලෝක වෙළෙඳ පොළේ ස්ථාවරත්වය රැක ගැනීමට ශ්‍රී ලාංකීය නිෂ්පාදකයා සමත් විය.

2011 වසර අවසන් වන විට අපනයනය ආදායමෙන් රුපියල් බිලියන දහහත (17) දක්වා වර්ධනය කරවීමට පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යංශයට හැකිවිය.

පොල්වගාකරුවන්, කර්මාන්තකරුවන් නඟාසිටුවීම සඳහා කප්රුක ආයෝජන ණය වැඩසටහන්, කප්රුක නිපැයුම් දිරිය, වැනි වැඩසටහන් රැසක් දියත් කොට තිබේ. පොල් ආශ්‍රිත කර්මාන්ත කොතෙක් දියුණු කළේ ද යත් පොල් ගසෙහි ඉවත ලන දෙයක් නොමැත.

පොල් ඉරටු, පොල් කටු, පොල් ලෙලි හා පොල් වතුර වලින් අද ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවන් විශාල ආදායම් උපදවයි. ශ්‍රී ලංකාවේ ඕනෑම අයෙකුට දැක බලා ගැනීම සඳහා පසුගිය ජාත්‍යන්තර පොල් දිනය දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යංශයේ වෙබ් අඩවිය විවෘත කෙරිණි. අද අමාත්‍යංශයේ ඕනෑම අංශයක,පොල් සමාගමක සියලු තොරතුරු ක්ෂණයකින් ලබා ගැනීමේ පහසුකම් සලසා තිබේ.

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පොල් කර්මාන්තය නඟා සිටුවීමට පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රධාන අරමුණයි. එය මහින්ද චින්තන සංකල්ප යථාර්ථයක් බවට පත් කිරීමක්ද වේ.