කසකස්තානය තවත් යහපත් මිත්‍රයෙක්

කසකස්තානය තවත් යහපත් මිත්‍රයෙක්

කසක්ස්තානය හෙවත් කසකස්තානය යනු කැස්පියන් මුහුදට, චීනයට, රුසියාවට හා උස්බෙකිස්තානයට මායිම් වූ සුවිශාල ආසියාතික රාජ්‍යයෙකි. එම රාජ්‍යයෙහි ඓතිහාසික වැදගත්කම හෝ ආර්ථික ශක්තිය හෝ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් නො දනිති. ඉන්ධන හා ස්වාභාවික ගෑස් අතින් ලෝකයෙහි නව වෙළෙඳ පොළක් නිර්මාණය කරමින් සිටින කසකස්තානය සාර්ථක අයෝජකයන් නිසා ද ලොව පුරා ප්‍රකට වේ. ධාන්‍ය හා කපු වගාව නිසා ද සත්ව පාලනය නිසා ද මේ රට තව අතකින් ප්‍රසිද්ධ ය. භූමි ප්‍රමාණයේ තරමට ජනගහනයක් නැති කසකස්තානය ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් සහිත ආසියාතික රාජ්‍යයෙකි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කසකස්තානයෙහි නිල සංචාරයක නිරත ව සිටී. එරට ජනාධිපති නුර්සුල්තාන් නසර්බයේට් කියා ඇත්තේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා සහයෝගය දැක්වීමට කසකස්තානය හැමවිට ම සූදානම් බව ය. එම සහයෝගය අංශ කිහිපයකින් සමන්විත ය.

පළමුවන්න; අන්තර්ජාතික වශයෙන් එල්ල වන දේශපාලන අභියෝග ජයගැනීමට ශ්‍රී ලංකාවට සහාය දැක්වීම ය. දෙවන්න; සංචාරක - වෙළෙඳ හා කර්මාන්ත ක්ෂේත්‍රවල වර්ධනය සඳහා ශ්‍රී ලංකාවට සහාය දැක්වීම ය. තෙවන්න දෙරටේ ආනයන – අපනයන තත්ත්වයන් ඉහළ දැමීමට පියවර ගැනීම ය.

අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මානව හිමිකම් නමැති උගුල අටවාගෙන ශ්‍රී ලංකාව එහි සිර කිරීමට මාන බලමින් සිටිති. කොටි සංවිධානය ශ්‍රී ලංකාවේ දී පරාජය වී ඇතත්; අන්තර්ජාතික වේදිකාවේදී තව ම ක්‍රියාත්මක ය. ඔවුන්ගේ ද අපේක්ෂා ව වනුයේ අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, කැනඩාව වැනි රටවල් සමඟ එකතු වී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පහර ගැසීම ය.

මෙහි දී අපට ශක්තියක් වන්නේ කසකස්තානය බඳු ස්වාධීන රාජ්‍යයන් ය. ශ්‍රී ලංකාවට මීට පෙර එල්ල වූ මානව හිමිකම් පිළිබඳ චෝදනාවල දී කසකස්තානය නිවැරැදි ස්ථාවරයක පිහිටමින් අපට සහයෝගය දැක්වී ය. එක අතකින් ඊට කෘතගුණ දැක්වීම අපගේ යුතුකම ය. අනෙක් අතට මේ සහයෝගය දිගට ම පවත්වා ගත යුතු ය.

ශ්‍රී ලංකාවේ තේවලට කසකස්තානයෙන් හොඳ ඉල්ලුමක් තිබේ. එම රාජ්‍යය ඈත අතීතයේ පටන් ම අපගේ හොඳ ගැනුම්කරුවෙකි. දෙරට ම සාර්ථක සංචාරක කලාපයන් සහිත රාජ්‍යයන් දෙකකි. කසකස්තානයේ සංචාරකයන් මෙන් ම ආයෝජකයන් ද මෙරටට ගෙන්වා ගත හැකි ය. දෙරට අතර පවත්නා සෘජු ගුවන් ගමන් ප්‍රමාණය වැඩි කිරීමට ද පියවර ගෙන තිබේ. අස්තානා අගනුවරත් කොළඹත් අතර සම්බන්ධය වැඩි දියුණු කළ යුතු ය. කසකස්තානයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉහළ මට්ටමක පවතින බැවින් අපට එයින් ද ප්‍රයෝජනයක් ගත හැකි ය. දෙරට අතර පවත්නා දේශපාලන මිත්‍රත්වයට අනුව අධ්‍යාපන හුවමාරු වැඩසටහන් හෝ ශිෂ්‍යත්ව ක්‍රම හෝ ඇති කළ හැකි ය.

ශ්‍රී ලංකාවේ මැණික් හා මිනිරන් කෙරෙහි ද කසකස්තාන බලධාරීන්ගේ අවධානය යොමු ව ඇතැ’යි පැවසේ. වඩාත් වැදගත් කාරණය වන්නේ දෙරටේ වෙළෙඳාම දියුණු කිරීම ය. ජනාධිපතිතුමා සමඟ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පිරිසක් ද එහි ගොස් සිටිති. අපේ ව්‍යාපාරිකයන් සඳහා අලුත් වෙළෙඳ පොළ ස්ථාන සොයා යෑමත්; ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා නව ආයෝජකයන් හඹා යෑමත් සිදු වන්නේ මෑතක සිට ය. එහි දී සාම්ප්‍රදායික නො වන ගනුදෙනු ආරම්භ කිරීමට ආණ්ඩුව සමත් ව සිටී. මීට පෙර ආණ්ඩුවල අවධානය යොමු වූයේ බටහිර ධනපති රටවල් සමඟ කරන ගනුදෙනු කෙරෙහි පමණි. එහෙත් මේ වන විට යුරෝපීය ආර්ථිකය බෙලහීන ය.

යුරෝපයේ බලවත් ම රාජ්‍යයක් වූ ග්‍රීසිය දැන් දුවන්නේ ලෝක ණය මත ය. ස්පාඤ්ඤය, ඉතාලිය වැනි කාර්මික රාජ්‍යයන්හි ආර්ථිකය කඩා වැටී විරැකියාව ඉහළ යන්නට පටන් ගෙන තිබේ. අපට තවදුරටත් යුරෝපය කෙරෙහි ම බලාපොරොත්තු තබා ගත නො හැකි ය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ විදේශ ප්‍රතිපත්තියෙහි කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ අපට හිතවත් ආසියානු රාජ්‍යයන් කෙරෙහි වැඩි නැඹුරුතාවක් දැක්වීම ය. චීනය, ඉන්දියාව, ඉරානය, මියන්මාරය, කසකස්තානය, පාකිස්තානය, ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ය. මේ සෑම රාජ්‍යයක් ම නව ආර්ථික පිබිදීමක් සහිත රටවල් ය. අනෙක් අතින් ශ්‍රී ලංකාව ට හිතවත් රාජ්‍යයන් ය.

වේගවත් සංවර්ධනයක් අපේක්ෂා කරන රාජ්‍යයන් ලෝක වෙළෙඳ පොළ ගැනත්; ගෝලීයකරණය ගැනත් නිර්මාණාත්මක ලෙස සිතන්නට පුහුණු විය යුතු යැයි ආර්ථික විශේෂඥ අමාර්ත්‍ය සෙන් කියා තිබේ. එහි අදහස වන්නේ් ගෝලීයකරණයේ ප්‍රතිලාභ අප විසින් වහ-වහා ලබා ගත යුතු බව ය.

එය කිසිවකු විසින් අප වෙත ලබා දෙන තුරු බලා සිටිය යුතු නැත. අප ගේ නිෂ්පාදන හැකියාවන්, දැනුම, අත්දැකීම්, අමුද්‍රව්‍ය ලෝක වෙළෙඳ පොළට ඇතුළත් කර ගත යුතු ය. ඒ සඳහා අලුත් ස්ථාන මෙන් ම අලුත් ක්‍රමෝපායන් ද සපයා ගත යුතු ය. අප ගේ වැටහීමට අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සැලැසුම් සහගත ව එම කාර්යයෙහි නිරත ව සිටී.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාට හා දූත මණ්ඩලයට කසකස්තානයේ දී ලැබුණු පිළිගැනීම ඉතා ඉහළ ය. මෙරට රාජ්‍ය නායකයකු කසකස්තානයට ගිය පළමු අවස්ථාව ද එය වේ. හමුදා ආචාර, රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා, සංචාර ආදිය ඉහළින් ම සැලැසුම් කර තිබිණි.

දෙවන ලෝක යුද සමයේ සිය මවුබිම වෙනුවෙන් දිවි දුන් කසකස්තාන වීරයන් උදෙසා වූ ස්මාරකයට උපහාර දැක්වීමට ද මහින්ද රාජපක්ෂ මහතා අමතක නො කළේ ය. එය තරමක් සංවේදී අවස්ථාවකි. ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත් නායකයා ලෙස ද, ශ්‍රී ලංකාවේ අනාගතය සුබවාදී නව දිශානතියකට යොමු කළ නායකයා ලෙස ද මහින්ද රාජපක්ෂ මහතාට එරට නායකයන් වෙතින් බලවත් ගෞරවයක් එකතු වී තිබිණි.

‍ෙම් සංචාරයේ දී දෙරටට ම වැදගත් වන ද්විපාර්ශ්වික ගිවිසුම් ගණනාවකට අස්සන් තැබිණි. වෙළෙඳ – කර්මාන්ත - සංචාරක යන ක්ෂේත්‍රවලට එම ගිවිසුම් අයත් වේ. විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා කියන ලෙස ඉන්ධන හා ගෑස් කසකස්තානයෙන් මිලට ගැනීම සම්බන්ධයෙන් වෙන ම සාකච්ඡා පැවැත් වේ.

ඉන්ධන හා ගෑස් පිළිබඳ සාම්ප්‍රදායික වෙළෙඳ පොළෙහි පැවැති ගැටලුකාරී තත්ත්වයන් නිසා ශ්‍රී ලංකාවට පාඩු සහිත අවස්ථා ගණනාවක් උදා විය. කසකස්තානය ඉන්ධන හා ගෑස් පිළිබඳ නව වෙළෙඳ පොළ ලෙස තහවුරු වුවහොත් ශ්‍රී ලංකාවට වාසි සහගත තත්ත්වයක් උදාකර ගත හැකි බව බොහෝ දෙනකුගේ මතය වේ. කසකස්තානය දේශපාලන අර්බුදවලින් හීන රටක් බැවින් එය කොහොමටත් වාසි සහගත ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ් නව විදේශ ප්‍රතිපත්තිය ගැන විපක්ෂයට ඇත්තේ විවේචනයකි. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සේ ම මන්ත්‍රී රවී කරුණානායක මහතා ද එම ප්‍රතිපත්ති දැඩි ව විවේචනය කරති. එහෙත් නව ලෝකයේ ප්‍රවණතා ගැන පුළුල් වැටහීමක් ඒ දෙදෙනාට ම නැත.

ඔව්හු තව ම බටහිරට ආවඩමින් කට අයාගෙන ඒ පැත්ත බලා සිටිති. එහෙත් බටහිරින් කිසිවක් නො ලැබෙනු ඇත. ඒ, දීමට තරම් දෙයක් ඔවුන් ළඟ නැති බැවිනි. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය නිවැරැදි ය. එහි ප්‍රතිඵල දැනට ම අපි භුක්ති විඳිමු.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා