රිට් පෙත්සම් ගැන උපදෙස් ගන්න නීතිඥවරුන්ට කල් ලබාදීමට යයි

අගවිනිසුරුවරියට එරෙහි  දෝෂාභියෝගය

රිට් පෙත්සම් ගැන උපදෙස් ගන්න නීතිඥවරුන්ට කල් ලබාදීමට යයි

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග චෝදනාව විභාග කිරීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවෙහි සාමාජිකයන්ට එරෙහිව ගොනුකර ඇති රිට් පෙත්සම් දෙකක් තවදුරටත් පවත්වාගෙන යනවාද එසේ නොමැතිව ඉල්ලා අස්කරගන්නවාද යන්න සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමට පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට කල් ලබාදීමට අභියාචනාධිකරණය ඊයේ (21) තීරණය කෙළේය.

පාර්ලිමේන්තු තේරීම්කාරක සභා සාමාජිකයන් පක්‍ෂග්‍රාහි බවට චෝදනා කර විරෝධතා දැක්වීම පරීක්‍ෂණයට භාජනය වන පුද්ගලයා විසින්ම එම කාරක සභාව හමුවට ගොස් ඉදිරිපත් කළ යුතු බව අධිකරණයෙහි ස්ථාවරය යැයි අභියාචනාධිකරණ සභාපති විනිසුරු ශ්‍රී ස්කන්ධරාජා මහතා ප්‍රමුඛ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නීතිවේදීන්ට පෙන්වා දුන්නේය.

ඒ අනුව එම විරෝධතා දැක්වීම කළයුතු ආකාරය සම්බන්ධයෙන් කරුණු දෙකක් සම්පූර්ණ විය යුතු බවට අධිකරණය සඳහන් කෙළේය.

එනම් එම විරෝධතා ඉදිරිපත් කිරීම,

1. පරීක්‍ෂණය සිදු කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ගොස් ඉදිරිපත් කළ යුතුය.

2. එම විරෝධතා දැක්වීම තෙවන පාර්ශ්වයක් මඟින් නොව පරීක්‍ෂණයට භාජනය වන පුද්ගලයා විසින්ම ඉදිරිපත් කළ යුතුය.

මෙලෙස තෙවන පාර්ශ්වයක් මැදිහත්වී විරෝධතා දැක්වීම මහාධිකරණයෙහි විත්තිකරුවකුට එරෙහි නඩුවක් විභාග කරන අවස්ථාවක තෙවන පාර්ශ්වයක් පැමිණ නඩුව විභාග කරන විනිසුරුවරයා පක්‍ෂග්‍රාහී බවට විරෝධය පෑමක් බඳු යැයි සභාපති විනිසුරු ශ්‍රී ස්කන්ධරාජා මහතා සඳහන් කෙළේය.

ඒ අනුව මේ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට එරෙහි විරෝධතා එම සභාව ඉදිරියට ගොස් ඉදිරිපත් කරන ලෙස නීතිවේදීන්ට දැනුම් දෙන ලදී.

ඒ අනුව මේ පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යන්නේද පිළිබඳව උපදෙස් ලබාගැනීමට කල් ලබාදෙන ලෙස නීතිවේදීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

ඊට අවසර ලබාදුන් අභියාචනාධිකරණය පෙත්සම් දෙසැම්බර් මස 11 වැනිදා කැඳවීමට නියම කළේය.

එදිනට පෙර මේ පෙත්සම් කැඳවීමට අවශ්‍ය නම් මෝසමක් ගොනු කිරීමේ හිමිකම පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට ඇති බව සඳහන් විය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ශ්‍රී ස්කන්ධරාජා, අනිල් ගුණරත්න, ඒ ඩබ්ලිව්. එම්. සලාම් යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මේ පෙත්සම් කැඳවන ලදී.

නීතිඥ නිමල් වීරක්කොඩි මහතා පෙත්සම ගොනු කර තිබුණේ පාර්ලිමේන්තු තේරීම්කාරක සභා සාමාජික ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිවය.

රාජිත සේනාරත්න මහතාගේ බිරිය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අගවිනිසුරුවරිය විසින් විභාග කර නිෂ්ප්‍රභ කර ඇති නිසා මේ කමිටුවට ඇතුළත්ව කටයුතු කිරීමට ඒ මහතාට නොහැකි යැයි ද එලෙස සාමාජිකත්වය දැරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බවද එම පෙත්සමෙහි සඳහන් විය.

ඇමැති විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තු තේරීම්කාරක සභා සාමාජිකත්වය දැරීම අභියෝගයට ලක් කර තිබුණේ නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ මහතා ගොනුකළ පෙත්සම මගිනි.

ඇමැති විමල් වීරවංශ මහතා ලියූ ග්‍රන්ථයක් සම්බන්ධ නඩුවක් අගවිනිසුරුවරිය විභාග කර ඇති නිසා ඒ මහතා මේ කමිටුවෙහි සාමාජිකත්වය දැරීමට විරෝධය පළ කරන බවට එමඟින් කරුණු ඉදිරිපත් කර තිබුණි.

එබැවින් මේ ඇමැතිවරුන් දෙදෙනා පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවෙහි සාමාජිකයන් ලෙස කටයුතු කරමින් දෝෂාභියෝග චෝදනා විමර්ශනය කිරීම වළක්වන්නැයි පෙත්සම් මඟින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ජනාධිපති නීතිඥවරුන් වන ඉක්‍රම් මොහොමඩ් සහ සංජීව ජයවර්ධන යන මහත්වරු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා