කාලගුණයෙන් බාධා  සුප්‍රීම් සැට් ගමන නවතී

කාලගුණයෙන් බාධා  සුප්‍රීම් සැට් ගමන නවතී

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලාංකීය ප්‍රථම සන්නිවේදනචන්ද්‍රිකාව වන “සුප්‍රීම් සැට් 1“ චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කිරීම දින නියමයකින් තොරව ප්‍රමාද කිරීමට තීරණය කර තිබේ.මෙම සුප්‍රීම් සැට් 1 චන්ද්‍රිකාව ෂී චෑං නැමැති චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානයෙන් පස්වරු 3.43ට ඊයේ (22) දිනයේ අභ්‍යාවකාශ ගත කිරීමට නියමිතව තිබිණි. 

සන්නිවේදන චන්ද්‍රිකාව චීන රොකට්ටුවක් මාර්ගයෙන් උඩුගුවනට විද 87.5 භූ ස්ථායි කක්ෂයේ රැඳවීමට නියමිතව ඇති අතර අභ්‍යාවකාශ ගත කර මිනිත්තු හතකට පසුව ශ්‍රී ලාංකීය මුහුදු තීරයට ඉහළ අහසින් ගමන් කිරීමට නියමිතය. 2013 ජනවාරි මුල සතියේ සිට අදාළ සන්නිවේදන කටයුතු ආරම්භ කෙරේ.

ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රී කෝපරේෂන් (china Great Wall Industry Corporation) සහ චයිනා සැටලයිට් කොමිනිකේෂන් (china Satellite Communication Co.Ltd) සමඟ ඒකාබද්ධව සුප්‍රීම්සැට් සමාගම චන්ද්‍රිකාව නිර්මාණය කර ඇති අතර ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ වි‍ශේෂ සහයෝගය ද හිමි වී තිබේ. සුප්‍රීම් සැට් සමාගම මේ සඳහා ආයෝජනය කර ඇති මුදල ඇමැරිකන් ඩොලර් මිලියන 100 කි.

දින පහක පමණ කාලයක් මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමේ කටයුතු ප්‍රමාද විය හැකි බවත් යළි චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කරන දිනය අද (24) ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා