විනිසුරු දියණියගේ නම විකුණා අන්තර්ජාලයට ගිය වෙළෙඳ සහායක කොටු වෙයි

විනිසුරු දියණියගේ නම විකුණා අන්තර්ජාලයට ගිය වෙළෙඳ සහායක කොටු වෙයි

අධිකරණ විනිසුරුවරයකුගේ දියණියක් දුරකථන සමාගමකින් ලබා ගත් අන්තර්ජාල පහසුකම්වලට අදාළ ලිපි ලේඛන උපයෝගී කර ගනිමින් ව්‍යාජ අයුරින් තවත් අන්තර් ජාල පහසුකම් දෙකක් ලබාගෙන ඇතැයි සැකපිට, එම සමාගමේ වෙළෙඳ සහායකයකු මහනුවර කොට්ඨාස වංචා හා විශේෂ අපරාධ විමර්ශන ඒකකය පෙරේදා (21) අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මහනුවර අතිරේක මහේස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 5දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ජේ. පී. එස්. ප්‍රනාන්දු නැමති අයෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සිද්ධිය පිළිබඳ ලද පැමිණිල්ලක් මත මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල මහතාගේ උපදෙස් මත මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කිත්සිරි ගනේගම මහතාගේ මෙහෙයවීමෙන් මහනුවර කොට්ඨාස වංචා හා විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක තිලක් සමරනායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

නිවැරැදි ලේඛන ඔස්සේ අන්තර්ජාල පහසුකම් ලබාගත් විනිසුරු දියණියට එම අන්තර් ජාලයට අදාළ මාසික බිල්පතට අමතරව තවත් බිල්පතක් ලැබීම හේතුවෙන් මේ පිළිබඳ සොයා බැලීමෙන් පසු පොලිසියට කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කෙරිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා