සුපිරි පාපැදි තරු එක්වෙන කිරිබත්ගොඩ තරගය ඉරිදා

සුපිරි පාපැදි තරු එක්වෙන කිරිබත්ගොඩ තරගය ඉරිදා

කිරිබත්ගොඩ තරුණ සංවිධානය ප්‍රථම වතාවට සංවිධානය කරන කිරිබත්ගොඩ පාපැදි තරගය මෙම 25 වැනි ඉරුදින (අනිද්දා) පෙරවරු 9.30 ට කිරිබත්ගොඩ මංසන්ධියෙන් ආරම්භ වෙයි.

තරගය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කිරිබත්ගොඩ රෝයල් පාක් හෝටලයේ පැවැති සාකච්ඡාවේදී රෙන්සි නිශාන්ත පදනමේ සභාපති රෙන්සි නිශාන්ත මහතා (වමේ සිට හතරවැන්නා) විසින් කණ්ඩායම් ශූරතා කුසලානය පාපැදි අතුරු කමිටු සාමාජික හා ජාත්‍යන්තර පාපැදි තරග විනිසුරු එන්.කරුණාරත්න මහතා වෙත භාර දුන් අයුරු. කිරිබත්ගොඩ ‘ද ෆ්‍රෙන්ඩ්ස්’ පාපැදි සමාජයේ සභාපති සුමිත් බාලසූරිය (මැද), ලේකම් සමන් නිශාමන්, තරගයේ ප්‍රධාන සංවිධායක දුමින්ද පෙරේරා, කිරිබත්ගොඩ තරුණ සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසිරි, කිරිබත්ගොඩ පොලිසියේ ස්ථානාධිපති යූ.පී.එස්.ප්‍රියන්ත හා එහි රථ වාහන පොලිස් ස්ථානාධිපති සිසිර තුෂාර පින්නවල සහ කැළණිය සහකාර පොලිස් අධිකාරී එම්.ඩබ්ලිව්.විමලදාස යන මහත්වරු ද මෙහි වෙති. ඡායාරූපය: සමන් මෙන්ඩිස්

තරගයේ සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝ මීටර 144 ක් වන අතර කිලෝ මීටර 48ක් දුරැති වට තුනකින් තරගය සමන්විත වෙයි. සෑම වටයක්ම කැලණිය ගුවන් පාලම, හතරේ කණුව, බියගම පාර, කැලණිය, බොල්ලෑගල, බියගම, දෙල්ගොඩ, වැලිවේරිය හරහා පැමිණ බැලුම්මහර මංසන්ධියෙන් නැවත නුවර පාරට වැටී කිරිල්ලවල, කඩවත හරහා කිරිබත්ගොඩ දක්වා පැමිණේ.

සුපිරි හා අවුරුදු 23න් පහළ රේසිං තරගකරුවන් සඳහා වර්ගීකරණයෙන් යුත් තරගය මෙහෙයවනු ලබන්නේ පාපැදි අතුරු පාලක කමිටුව විසිනි. මාර්ගය හැසිරවීම හා ආරක්ෂාව ශ්‍රී ලංකා පොලිසිය වෙතිනි. ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය ප්‍රථමාධාර සපයයි.

තරගය සඳහා අයදුම් පත් හෙට (24) පස්වරු 3.00 ට පෙර ලැබෙන සේ “දුමින්ද පෙරේරා, ප්‍රධාන සංවිධායක, නො.23/1, නුවර පාර, කිරිබත්ගොඩ” යන ලිපිනයට තැපෑලෙන් හෝ අංක 011-290 76 42 ට ෆැක්ස් මාර්ගයෙන් ලැබීමට සැලැස්විය යුතු යැයි සංවිධායකයෝ දන්වා සිටිති. මහජන සම්බන්ධතා හා මහජන කටයුතු පිළිබඳ අමාත්‍ය, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා විසින් තරගයේ ආරම්භක සංඥාව නිකුත් කරනු ඇති අතර ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙසද ඒ මහතා සහභාගී වීමට නියමිතය.

තරගයේ පළමු ස්ථානය වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාග මුදල රුපියල් 100,000 කි. මීට අමතරව වටිනා කුසලානයක් ද පිරිනැමේ. දෙවැනි හා තෙවැනි ස්ථාන සඳහා පිළිවෙලින් රුපියල් 75,000 ක් හා රුපියල් 50,000 ක් සමග කුසලාන ද, සිවුවැනි හා පස්වැනි ස්ථාන සඳහා පිළිවෙලින් රුපියල් 25,000ක් හා රුපියල් 15,000ක් ද, හයවැනි ස්ථානයේ සිට දසවැනි ස්ථානය දක්වා මුදලින් රුපියල් 5,000 බැගින් ද, එකොළොස්වැනි ස්ථානයේ සිට විසිවැනි ස්ථානය දක්වා මුදලින් රුපියල් 2000 බැගින් ද ත්‍යාග මුදල් පිරිනැමෙන බව තරග සංවිධායකයෝ ප්‍රකාශ කර සිටිති.

මීට අමතරව තරගයේ පළමු හා දෙවැනි වටවල ‘ස්ප්‍රින්ට්’ ජයග්‍රාහකයන්ට රුපියල් 10,000 බැගින් ද කණ්ඩායම් ශූරතාව සඳහා වටිනා කුසලානයක් සමග මුදලින් රුපියල් 10,000ක් ද පිරිනැමේ. සියළුම කුසලාන ප්‍රදානය කර ඇත්තේ මහර රෙන්සි නිශාන්ත පදනම යි.

තරගය අවසානයේ එදින සවස පැවැත්වෙන ත්‍යාග ප්‍රදානෝත්සවය දැවැන්ත සංගීත ප්‍රසංගයකින් වර්ණවත් වනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා