මුද්‍රණය සඳහා

 
ශ්‍රී ලංකා ක්‍රීඩා සංස්කෘතිය ගොඩනැමට CSN නාළිකාවේ දායකත්වය විශිෂ්ටයි

ශ්‍රී ලංකා ක්‍රීඩා සංස්කෘතිය ගොඩනැමට CSN නාළිකාවේ දායකත්වය විශිෂ්ටයි

 - ක්‍රීඩා ඇමැති

CSN රූපවාහිනි නාලිකාව ක්‍රීඩා සංස්කෘතියක් ශ්‍රී ලංකාවේ බිහිකිරීමට විශිෂ්ට දායකත්වයක් ලබාදෙන බව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. වාණිජමය පරමාර්ථය මුල් කරගෙන ඇතැම් නාලිකා කටයුතු කරද්දී CSN රූපවාහිනි නාළිකාව ක්‍රීඩා සංවර්ධනයට කැපවීම විශේෂත්වයක් බව අලුත්ගමගේ මහතා පැවැසීය.

ක්‍රීඩා ඇමැතිවරයා විසින් කුසලානය පාපන්දු සභාපතිවරයාට භාරදුන් අවස්ථාව ඡායාරූපය – තුෂාර ප්‍රනාන්දු

රටවල් හතරක සහභාගිත්වයෙන් නාවලපිටියේදී පැවැත්වෙන මහින්ද රාජපක්ෂ කුසලාන අන්තර් ජාතික පාපන්දු තරගාවලිය පිළිබඳ මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව සඳහන් කළේය.

එම ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ සියලු තරග සජීව ලෙස රටපුරා විකාශය කිරීමට CSN රූපවාහිනි නාළිකාව කටයුතු ‍යොදා තිබේ.

'දින හතරේ පැවැත්වෙන සියලුම තරග විකාශය කිරීමට CSN නාළිකාව ඉල්ලා සිටි මුදලට වඩා වෙනත් නාළිකා කීපයක් ඉල්ලූ මුදල පස් ගුණයකින් වැඩියි. එයින්ම CSN රූපවාහිනි නාළිකාවේ සාධාරණත්වය පෙනෙනවා. ක්‍රීඩාව ගමට ගෙන යෑමේ දී මාධ්‍යයේ කාර්යභාරය ඉතා වැදගත්. ඇතැම් අය මුදලට වහල්වී ක්‍රියා කරද්දී CSN ක්‍රීඩා සංවර්ධනයට දක්වන කැපවීමට විශේෂ ස්තූතියක් කළ යුතුයි.' ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.

මේ මාධ්‍ය හමුවේදී මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ කුසලානය එළි දැක්විණි. පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීමට සම්මේලනය ඉල්ලා සිටි සියලු දේ ලබාදී ඇති බැවින් ප්‍රතිඵල පෙන්වීම අත්‍යාවශ්‍ය බව දඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ක්‍රීඩා යටිතල පහසුකම් ලබාදෙනවා. විදෙස් පුහුණුකරුවෙකු දෙනවා. එපමණක් නොවෙයි පාපන්දු ක්‍රීඩකයන් වෘත්තීය මට්ටමට ගෙන එනවා. ඒ සියලු දේ ලබාදෙන විට පාපන්දු ක්‍රීඩාව ඉහළට ගැනීම සම්මේලනයේ යුතුකමක්.' ඇමැතිවරයා සඳහන් කළේය.

මේ මාධ්‍ය හමුවට අනුග්‍රාහක ආයතන ප්‍රධානීහූ හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි, පාපන්දු සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයෝ ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]