මුද්‍රණය සඳහා

 
ලොව හැඬ වූ සිතාරය නිහඩ වෙයි

ලොව හැඬ වූ සිතාරය නිහඩ වෙයි

භාරතීය සංගීතඥ රවි ශංකර් ගේ අභාවය නිමිත්තෙන් ඔහුගේ සංගීතය පිළිබඳ කෙරෙන ඇගැයුමකි.

ඉන්දීය සංගීතඥයා, අනන්තය සමඟ එක්ව ඉහළටම ඔසවනු ලැබූ පුද්ගල ප්‍රකාශනයක්, ඉන්දියානු ශාන්ත නිසසල බව වෙත රැගෙන එයි. බටහිර නූතන සංගීතවේදීන් ඉතා ස්වල්පයකට පමණක් උරුම මේ අපූරු ශාන්ත බව බාක්, මොසාට්, බිතෝවන්ගේ කෘතීන්වලද අපට හමුවේ.

මේ නිසසල ශාන්ත ශ්‍රේෂ්ඨත්වය ඔවුන් තුළ නොමැතිවීම පිළිබඳව අප වර්තමාන සංගීතඥයින්ට දොස් පැවරිය යුතු නැත. මන්ද ඔවුන්ට එය උරා ගනිමින්, අනුප්‍රාණය ලැබිය හැකි තරම් එවැනි නිසසල ගුණයක් අපේ බටහිර ශිෂ්ටාචාරයට ඇත්තේ ඉතා මඳ වශයෙනි.

එහෙත් තවමත් සංගීතයේ ඇති ප්‍රබලතා ගුණය කුමක්ද? ප්‍රකාශයට පත්කළ හැකි පවිත්‍ර නාද සංවිධානය කිරීමද?... රවී ශංකර් වැනි සංගීතවේදීන් ඒ අහිමි වී ගිය ශාන්ත බව අප වෙත ළඟාකර ගැනීමට ප්‍රබල ආධාරයක් වනු ඇත. “රවි ශංකර් මා වෙත වටිනා තිළිණයක් රැගෙන ආවේය. ඔහු හරහා මා මගේ සංගීතය පිළිබඳ අනුභූතියට නව මානයක් එක්කර ගතිමි. එය ලොව සියලුම විශිෂ්ට සංගීතයට අයත් වන්නකි...

විශිෂ්ට බටහිර වයලීන වාදකයකු සහ මහා සංගීතඥයකු වු ජර්මානු ජාතික “යෙහූඩ් මෙනුයින්” ඒ ප්‍රකාශය ඔස්සේ සිහිපත් කළේ, විසිවෙනි සියවසේ මහා සංගීතවේදියකු වූ ඉන්දියානුවකුගෙන් තමා ලද අපරිමිත සංගීතමය හා අධ්‍යාත්මික ගුණය පිළිබඳවය.

ඉන්දීය සංස්කෘතිය හා සංගීතමය ශික්ෂණය විසින් බිහිකළ මහා ප්‍රාඥයකු හා සංගීතයේ ලෝක පුරවැසියකු ලෙස සැලකෙන මේ ඉන්දියානු මිනිසා, නමින් ‘රවී ශංකර්” නම් විය. පණ්ඩිත් රවී ශංකර්ය. සිතාරය නම් ප්‍රබල ඉන්දීය සංගීත භාණ්ඩයේ තත් අතර සරමින් ඉන් ලොව පුරා පරම්පරා ගණනාවකගේ සිත දැහැන්ගත කළ සිත් සුවපත් කරමින් ලොව ජයගත් මේ මහා සංගීතඥයා නැවත නොඑන ලෙස අප හැර ගියේ නැවත කිසිදිනෙක අපට හමුනොවන දිනයකය. එනම් 2012.12.12 දිනයේය. ඔහු එසේ වසා දමනු ලැබූවේ ඉන්දීය සංගීතයේ පමණක් නොව විශ්ව සංගීතයේද එක් පොහොසත් පරිච්ඡේදයකි.

ප්‍රවීණ සංගීතඥ යෙහුඩි මෙනුයින් සමඟ.

පණ්ඩිත් රවි ශංකර්ගේ සංගීත භාවිතාව සහ දායකත්වය බොහෝ දෙනා සිතන පරිදි ජාත්‍යන්තර ගණයේ සිතාර් වාදකයකුට සීමා වූවක් නොව විශාල පරාසයක දිව යන්නකි. මහා සංගීත ආචාර්යවරයකු, විවිධ සංගීත සම්ප්‍රදායයන් හා ශෛලීන් සමඟ එක්වූ සංගීත නිර්මාණ ශිල්පියකු වේදිකා නාට්‍ය, මුද්‍රා නාට්‍ය සහ චිත්‍රපට සංගීත නිර්මාණකරුවකු, ගීත නාටක නිර්මාණ ශිල්පියකු, නූතන සංස්කෘතික දූතයකු, නර්තන ශිල්පියකු, ගත් කතුවරයකු සහ සිතාරය නම් ඉන්දීය සංගීත භාණ්ඩය කිසිදිනෙක නොදුටු නොඇසූ ලොව දුර ඈත සංස්කෘතික කලාපවල එය ප්‍රචලිත කළ මහා සංස්කෘතික දූතයකු යන විසල් පරාසයක පැතිරුණු භූමිකා ගණනාවක් ඔහු ඉටුකළේය.

ඔහු විසින් ආවරණය කරන ලද හා ආභාසය ලබාදුන් ක්ෂේත්‍ර සහ විෂයයන් ගණනාවක් දෙස විමසිලිමත්ව බලන විට මේ මහා මිනිසා ලෝක සංස්කෘතියේ ප්‍රබල සංස්කෘතියක ප්‍රතිරූපයක් ලෙස පවතින බැව් පැහැදිලිය.

1920 අප්‍රේල් 7දා ‘වරනාසි’ (අද ප්‍රචලිත නමින් බෙනාරස්) හිදී උපත ලද ‘රවී ශංකර්’ පස් දෙනෙකුගෙන් යුතු පවුලක බාලම දරුවා වූ අතර ඔහුගේ පියා එකල මහාරාජාවරයකු යටතේ ලේකම්වරයකු වශයෙන් සේවය කළ සංස්කෘත හා ඍග්වේදය පිළිබඳ උගත් ප්‍රමාණවත් බුද්ධිමතෙකි.

එහෙත් කුඩා කල සිටම තම පියාගෙන් වෙන්ව මව සමඟම බොහෝ කාලයක් වැඩුණු කුඩා රවී ශංකර්, සංගීතයටත්, සෙබාදහමටත්, ‘ආගමික’ හා අධ්‍යාත්මික පක්ෂයටත් බෙහෙවින් සංවේදී දරුවකු විය. සංගීතය පිළිබඳ ඔහුගේ මුල්ම මතකයන් වන්නේ තම මවගේ නැළවිලි ගී හඬ හා ඈ නිතර ගායනා කළ නාට්‍ය ගී හා ශාස්ත්‍රීය ගායනා ය.

දියණිය අනුෂ්කා සමඟ.

පසුකලෙක තම සොයුරු නර්තනවේදී උදය ශංකර් සමඟ ප්‍රංශයේ පැරිස් නුවර නර්තන හා සංගීත කණ්ඩායමක කටයුතු කරමින්, නර්තනය, සංගීතය හා වේදිකාව පිළිබඳව තම ගැටවරවියේදීම මනා අත්දැකීම් ගණනාවක් ලබා ගන්නට ඔහුට හැකිවිය.

වසර දහය පමණ වයසේ සිට වසර හයකට අධික කාලයක් පැරීසියේ සංගීත හා නර්තන අංග රඟදක්වමින් එහි පුළුල් සංස්කෘතික ජීවිතය අත්විඳින්නට මේ ගැටවර වයසේ සිටි රවි ශංකර් ලද්දේ මහඟු අවස්ථාවකි.

ඒ කාලය තුළ ඔහු ලද අත්දැකීම්, ඥානය හා පුළුල් ජීවන හා සංස්කෘතික දැක්ම, පසුකලෙක ඔහු තුළින් ප්‍රබල ඉන්දීය ආධ්‍යාත්මයකින් හෙබි විශ්ව සංගීතඥයකු බිහිවීමට පැහැදිලි බලපෑමක් කළ බවක් ඔහු සඳහන් කර ඇත.

අනෙක් අතින් පසුකලෙක මධ්‍යම ඉන්දියාවේ මයිහාර්හි සිටි ප්‍රකටතම සංගීතවේදී ඔස්තාද් ‘අලව්දීන් ඛාන්’ වෙතින් ලද අතිශය පුළුල් සංගීත ඥානය හා ශික්ෂණය නිසා රවි ශංකර් වෙතින් පළ වූයේ, හුදු සාමාන්‍ය සංගීතඥයකුගේ සිතක් හා ස්වභාවයක්ම නොවේ. නිරතුරුව සංගීතයේ ශාස්ත්‍රීය අංශය මෙන්ම නිර්මාණාත්මක අංශය වෙතද යොමු වී එහි නිම්වළලු පුළුල් කරන භාවාත්මක සංගීත භාවිතාවක් වෙත යොමුවීම ඔහුගේ අරමුණ විය.

එහෙත් ඔහු ඒ සියල්ල සඳහා යොමුවූයේ තමා උගත් උත්තර භාරතීය සංගීත සම්ප්‍රදාය බලවත් පදනමක් සේ ගනිමිනි. සමස්ත ඉන්දීය ගුවන් විදුලිය සමඟ එක්ව නිර්මාණය කළ විවිධ සංගීත රචනා ඔහුගේ මුල්ම නිර්මාණ සංගීත අවස්ථා ලෙස සැලකිය හැකිය.

එසේම ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වු “ඉන්දීය ජනතා නාට්‍ය සංගමය” හා එක්ව “ඉන්ඩියා ඉමෝටල්” සහ “ඩිස්කවරි ඔෆ් ඉන්ඩියා” (ජවහල්ලාල්නේරුතුමාගේ කෘතිය ඇසුරෙන්) යන මුද්‍රා නාට්‍යවල සංගීත නිර්මාණය කිරීමට ලැබීම ඔහුගේ සංගීත නිර්මාණ ශක්තිය උරගා බලන්නට ඔහු ලද මහඟු අවස්ථා විය.

චිත්‍රපට සංගීතය පණ්ඩිත් රවී ශංකර්, තම නිර්මාණ ශක්තිය මනාව යොදවා ගත් මාධ්‍යයක් විය. මුල්ම යුගයේ චිත්‍රපට සඳහා වාදකයකු වශයෙන්ද එක් වූ ඔහු “ධාර්තා කේ ලාල්”, “නීචා නගර්” යන බෙංගාලි චිත්‍රපට දෙක සඳහා මුලින්ම සංගීතය නිර්මාණය කළේය.

හුදෙක් ඉන්දීය සංගීත භාණ්ඩවලින්ම නිර්මාණය කළ එම චිත්‍රපට සංගීත රචනා එතරම් ජනප්‍රිය නොවනා සේම සිනමා සංගීතය යනු මින් එහා දිවෙන සුවිශේෂ සංගීත මාධ්‍යයක් බව වටහාගත් රවී ශංකර්, නැවත ඒ සඳහා එක්වූයේ බොහෝ කලකට පසු පනහ දශකයේ මැදභාගයේ ය.

බ්‍රිතාන්‍ය රජ පවුල හා හිටපු ජනාධිපති වෙන්කතරාමන් ඉදිරියේ ප්‍රසංගයක් පවත්වමින්...

සත්‍යජිත් රායිගේ පතර් පංචාලි චිත්‍රපටයට ඔහු නිර්මාණය කළ තේමා සංගීතය ඉතාම ජනප්‍රිය වූ අතර ඉන්දියානු සිනමා සංගීත භාවිතාවේ එක් සුවිශේෂ අවස්ථාවක් ලෙස අදත් සලකනු ලැබේ.

“අපරාජිතෝ, අපූර් සංසාර්”, “කාංචන් ජුංගා”, “මසානගර්”, “පරාශ් පතාර්”, “ගෝදාන්”, “ෂේක්ස්පියර්වලා”, “චපැක්මා”, වැනි පනහ හැට දශකවල චිත්‍රපට ගණනාවක සිට 1982 රිචඩ් ඇටන්බරෝගේ ‘ගාන්ධි’ චිත්‍රපටය දක්වා සිනමා සංගීතයේ යෙදුණු රවී ශංකර්, චිත්‍රපට සංගීතඥයකු ලෙස පුළුල් කීර්තියක් මෙන්ම සම්මානයෙන්ද පුද ලද්දේය.

තම සිතාරය රැගෙන ලොව බොහෝ රටවල සංගීත ප්‍රසංග පවත්වමින් බටහිර ලෝකයේ අවධානය සිතාරය සහ ඉන්දීය සංගීත සම්ප්‍රදාය වෙතට යොමු කරමින් අතිශයින් ප්‍රකට වූ මේ මහා ඉන්දීය සංගීතවේදියා විවිධ ශෛලීන්වල ලෝක සංගීතවේදීන් ගණනාවක් සමඟ එක්ව බටහිර, පෙරදිග සම්භාව්‍ය සංගීත සම්ප්‍රදායන් අතර මෙන්ම ජනපි‍්‍රය සංගීත ශෛලීන් අතරද සංකලනයන් බිහිකරන්නට ඔහු දශක ගණනාවක් කටයුතු කළේය.

අන්ද්‍රෙ ප්‍රවීන්, සුබීන් මේථා, ජීන් පියර්, රම්පාල්, යෙහුඩි මෙනුයින්, එල්. සුබ්‍රමනියම්, පිලිප් ග්ලාස් වැනි විවිධ සංගීත සම්ප්‍රදායයන් වලට අයත් සංගීතවේදීන් පණ්ඩිත් රවි ශංකර් සමඟ නිර්මාණාත්මක සුසංයෝගයක් සඳහා වරින්වර එක්වූහ. රවි ශංකර්ගේ මෙම සම්මිශ්‍රණ සංගීතමය නිර්මාණ ඔහු අතින් ලොවට දායාද වූ විශිෂ්ට සංගීතමය තිළිණ ලෙසත්, ආසියාතික නිර්මාණ සංගීතයේ ප්‍රබලතම අවස්ථා ලෙසත් සැලකේ.

ප්‍රසංගයක් සදහා ශ්‍රී ලංකාවට
පැමිණි අවස්ථාවක්.

තවත් වරෙක හැටේ දශකයේ අතිශයින් ජනපි‍්‍රය බටහිර පොප් සංගීත කණ්ඩායම වූ “බීට්ල්ස්” කණ්ඩායම සමඟ සිතාරයෙන් එක්වූ පණ්ඩිත් රවි ශංකර්, විශාල ආන්දෝලනයකට තුඩුදුන් හිප් සංස්කෘතියේ මුදුන් මල්කඩක් බඳු “වුඩ්ස්ට්‍රොක් සංගීත උළෙලේ දී සිතාර් වාදනය කළේය. විශේෂයෙන් බීට්ල්ස් සංගීත කණ්ඩායමේ ජෝර්ස් හැරිසන් පණ්ඩිත් රවි ශංකර් පාමුල සිතාර් වාදනය හදාළේය. මේ සියලු ක්‍රියාකාරකම් රවි ශංකර් වෙත ගෙන ආවේ දැවැන්ත චෝදනාවකි.

එනම් ඔහු හිපියන් සමඟ එක්ව උදාරතර සංගීත සම්ප්‍රදායක්, මත්ද්‍රව්‍ය හා මුසුවූ විනාශකාරී ප්‍රවණතාවක් වෙත රැගෙන ගොස් දූෂණය කළේය යන්නයි. එහෙත් පණ්ඩිත රවි ශංකර් නැවත ඊට පිළිතුරක් ලෙස කියා සිටියේ, තමාට උවමනා වූයේ මත්ද්‍රව්‍ය සමඟ විනාශයට යන තරුණ පරපුරකට ධ්‍යානශීලී ඉන්දීය සංගීතය ඔස්සේ පැහැදිලි ආධ්‍යාත්මික අරමුණ දීමට බවයි.

පණ්ඩිත් රවි ශංකර් වෙතින් මුළුමහත් ලෝකයට තිළිණ වූ සංගීත නිර්මාණ මෙන්ම ඔහු ලෝකයට හෙළිකල ප්‍රධාන අරුත ඇත්තේ කලාව, අධ්‍යාත්මික ජීවිතය, කලාකරුවකුගේ නිරන්තර භාවිතාව තුළය. සංගීතය යනු දෙවියන්ගෙන් ලැබුණු තිළිණයක් මෙන්ම මිනිස් සංස්කෘතික භාවිතාව තුළ බොහෝ දේ අත්පත් කරගන්නා මහා ආධ්‍යාත්මික මාර්ගයක් බව ඔහු ලෝකයට පසක්කොට ඇත.

එහෙත් නැවත කිසිදිනෙක අනුස්මරණය කළ නොහැකි දිනයක මිනිසුන් අතහැර ගිය මේ සංගීතයේ මහා මිනිසා අපට තිළිණ කොට ගොස් ඇති සංගීත නිර්මාණ නිධානය, වත්මන් පරපුරට සංස්කෘතික හා අධ්‍යාත්මික පොහොසත්කම ලබාදෙනු ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]