මුද්‍රණය සඳහා

 
ගුවන් තොටිල්ලේ නැළවිලි ගීය  ‘හඳ මාමා’ට 50යි

ගුවන් තොටිල්ලේ නැළවිලි ගීය  ‘හඳ මාමා’ට 50යි

හඳ, කුඩා දරුවන්ගේ ළෙන්ගතුම මිතුරෙක්. හඳ මාමාත් කුඩා දරුවන්ට ඒ තරම්ම ළෙන්ගතුයි. 1963 වසරේ සිට ගුවනින් දරුවන්ට සමීප වූ හඳමාමාට දැන් වසර පනහක් පිරෙනවා. අඩසියවසක් පුරා හඳ මාමා වැඩසටහන හරහා පුංචි දරුවන්ට දැනුම, සතුට, විනෝදය බෙදා දුන් හඳ නැන්දා ලෙසින් කවුරුත් හඳුන්වන සුමනා ජයතිලක මහත්මිය සමඟ සිදුකළ සංවාදයකි මේ.

සුමනා ජයතිලක

*හඳ මාමා වැඩසටහනත් සමඟ අඩසියවසක් පුරා පැමිණි ගමන සිහිපත් කළොත්?

හඳ මාමා වැඩසටහනට වසර 50ක් පිරීම සුවිශේෂී කඩඉමක්. දීර්ඝ කාලයක් පුරා මේ පැමිණි ගමනේ සතුට, අසතුට දෙකම තිබුණා. හඳ මාමා වැඩසටහන කරගෙන යාමේදී එයට සහාය දුන් අය වගේම එය කඩාකප්පල් කරන්න උත්සහ කළ අයත් සිටියා. නමුත් සියල්ල මැඩගෙන අද යම් තැනකට ඇවිත් තිබෙනවා. ඒ නිසා ආපසු හැරී බලද්දී සතුටු වෙන්න පුළුවන්.

*හඳ මාමාගේ ආරම්භය සිදු වුණේ කොහොමද?

හඳමාමා ආරම්භ කළේ 1963 දෙසැම්බර්. ඒවෙනකොට ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයට ළමා වැඩසටහන් තිබුණේ නැහැ. ඒ අඩුව සම්පූර්ණ කරන්න කියලා එවකට සිටි වෙළෙඳසේවා අධ්‍යක්ෂතුමා මට ආරාධනා කළා. යම්කිසි වෙනස් ස්වරූපයකින් යුතු ළමා වැඩසටහනක් ආරම්භ කළ යුතු බව එතුමා මට කිව්වා.

ඒ වෙනකොට ළමා වැඩසටහන් විදිහට තිබුණේ ස්වදේශීය සේවයේ ළමා පිටිය, ළමා මණ්ඩපය වැනි වැඩසටහන්. ඒ වකවානුවේ වෙළෙඳ සේවයට වෙනස්ම මුහුණුවරකින් යුතු වැඩසටහනක් අවශ්‍ය වුණා. ඒ අනුව මම හිතුවා ළමයින් ග්‍රහණය කරගන්න තිබෙන හොඳම ක්‍රමය කතන්දර. ළමයි කතන්දර අහන්න ආසයි. ඒ අනුව කතන්දරය අහලා එයින් හිතට ආ කුමන හෝ දෙයක් චිත්‍රයට නඟලා එවන්න කිව්වා. එයින් ළමයා දැනුම, වින්දනය වගේම, ආදර්ශයක් ලබා ගත්තද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්.

*මේ වැඩසටහන හඳමාමා ලෙසින් නම් කළේ ඇයි?

හඳ මාමා නිෂ්පාදනය කළේ එවකට එහි වැඩසටහන් සම්පාදක කේ.ඒ. ඩබ්ලිව්. පෙරේරා මහතා. එතුමා චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. ඒ වගේම හොඳ නිර්මාණ ශිල්පියෙක්. මේ ළමා වැඩසටහනට විවිධ අය විවිධ නම් නිර්මාණය කරද්දී හඳමාමා යන නම යෝජනා කළේ එතුමා. මමත් ඒ නමට කැමති වුණා. හඳ කියන්නේ පුංචි දරුවන් බොහොම ආදරයෙන් කතා කරන ‍ෙදයක්. ළමයි ඉරට වඩා සමීප හඳට. ඒවගේම මෙය ළමයින්ට තවත් සමීප කරවන්න හදමාමා ලෙසින් යොදා ගත්තා.

*හඳමාමා වැඩසටහන මේ තරම් ජනප්‍රිය වුණේ කොහොමද?

විද්‍යුත් මාධ්‍යයෙන් පළමුවතාවට චිත්‍රයකින් ළමයාගේ මනසට සමීප වුණේ හඳමාමා වැඩසටහන ඒ වගේම මේ වැඩසටහන තුළින් නැන්දයි, මාමයි සංකල්පය ගෙන ආවා. එසමඟින් ආමන්ත්‍රණ ස්වරූපයේ වෙනසක් ඇති කරන්නත් හැකිවුණා.

දරුවන්ට පොඩිත්තනේ කියලා ආදරණීය ලෙස ආමන්ත්‍රණය කළේ හඳමාමා වැඩසටහනයි. ඒ නිසා එදා සිට අද දක්වා දරුවන් හඳමාමාට ආදරය කරනවා. ඒ වගේම මේ වැඩසටහනින් පුංචි පුංචි තොරතුරු සිරිත්මල්දම, ලෝවැඩ සඟරාව, සුභාෂිතය වැනි කවි පොත්වල කවි පිළිබඳ දරුවන්ට කියලා දුන්නා.

සංදේශ කාව්‍ය මොනවාද? ඒවා රසවිදින ආකාරය පිළිබඳ දරුවන් දැනුවත්කළා. මුල්කාලේ අපි රස පැන නමින් ප්‍රශ්න 10ක් ඉදිරිපත් කළා. ගුවන් කාලය කෙටිවීම නිසා අද එය එක ප්‍රශ්නයක් දක්වා අඩුවුනත් මෙමඟින් ළමයින්ට දැනුම බෙදා දීමට අපි උත්සහ කළා.

වාක්‍ය පිටුව නමින් තවත් විශේෂාංගයක් මේ වැඩසටහනේ තිබෙනවා. කවියක පද දෙකක් දීලා ඉතුරු පදදෙක ළමයින් සම්පූර්ණ කළ යුතුයි. මේ දේවල් නිසා ගොඩාක් ළමයි හඳමාමාට සවන් දුන්නා. කතා කළා. චිත්‍ර ඇදලා ඒව්වා. මෙය ළමයින්ට ගැලපෙන ළමා වැඩසටහනත් ඒ නිසයි ළමයි හඳමාමාට එදා වගේම අදත් ආදරය කරන්නේ.

*එදාට වඩා අද හඳමාමා වෙනස් වෙලා ද?

සංකල්පය තුළ තිබෙන අන්තර්ගතයෙහි කිසිදු වෙනසක් නැහැ. අපි කාලෝචිත ආකාරයට විෂය ක්ෂේත්‍රය වෙනස් කරලා තිබෙනවා. නමුත් ඒ වෙනස්කම් සිදුකර තිබෙන්නේ ළමයාට ඔරොත්තු දෙන සරල ආකාරයටයි. අද ළමයින්ට එදා කව්කළඹ, සුභාෂිතය පමණක් නොවෙයි අලුත් හොඳ නිර්මාණ රසවිඳින ආකාරය පිළිබඳ අපි දැනුවත් කරනවා. සංවේදී මනසක් තිබෙන වැඩිහිටි පරපුරක් ගොඩනඟාගන්න නම් අපි දරුවන්ට මේ දැනුම ලබා දිය යුතුයි.

*හඳමාමා වැඩසටහන මෙතෙක් කල් විකාශය කෙරුණේ ඊටම අනන්‍ය වූ ස්වරූපයකින් නේද?

ඔව්, පනස් වසරකට පෙර අපි ගොඩනඟපු දේවල්වල සාර්ථක ප්‍රතිඵල අද දකින්න තිබෙනවා. අපේ වැඩසටහනින් ළමයෙක් ආචාර කරන්න පුරුදු වුණා. අද වුණත් ඉහළ තනතුරුවල ඉන්න පුද්ගලයන් පවා මාව දැක්කහම ආයුබෝවන් නැන්දේ කියලා අත් දෙක එකතු කරනවා. මෙය මට කරන ගෞරවයක් නොවෙයි. දරුවන්ගේ පැවැත්මට, සාරධර්මවලට යම් හුරුවක් අපි දරුවන්ට දුන්නානම් එය තමයි මම එමඟින් දකින්නේ. එය ‍ෙලාකු සතුටක්.

ඒවගේම ඕනවට වඩා සරල වෙන්න ගිහින් අද අපේ භාෂා සාහිත්‍යය බොහෝ අසතුටු දායක තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. අද අපේ භාෂාව හසුරවන හැටි දැක්කහම අපිට වේදනාවක් දැනෙනවා. අපේ දරුවන් භාෂාව නිවැරදි ආකාරයට හසුරුවනවානම් අපේ සන්නිවේදන කාර්යය මීට වඩා ඉහළ තලයකට ගෙනයන්න පුළුවන් කියලයි මම හිතන්නේ.

*අද විවිධ මාධ්‍යයන් පැමිණීම හේතුවෙන් දරුවන් ගුවන්විදුලියෙන් ඈත්වෙලා නේද?

මේ කාරණයට වගකියන්න ඕනා ගුරුවරු, දෙමාපියෝ සහ වැඩිහිටියෝ. වැඩි වින්දනයක් ලබන්න ළමයි හැමතිස්සේම කැමති. නමුත් ඒවා ඔවුන්ට ගැලපෙනවද? නැද්ද කියලා ඔවුන්ට තෝරා බේරාගන්න හැකියාවක් නැහැ. ඒනිසා අද ගොඩාක් ළමයි නොයෙකුත් කාටුන් චිත්‍රවලට යොමු වෙනවා. ළමයින් ඒවායෙන් මුදාගෙන ආර්ථවත් දෙයකට යොමු කිරීම දෙමාපියන්ගේ වගකීමක්.

අද ළමයින්ට ගුවන්විදුලියට සවන් දෙන්න කාලයක් නොමැතිවීමත් තවත් ගැටලුවක්. හඳමාමා වැඩසටහනට මුල් කාලේ තෝරලා ඉවර කරන්න බැරි තරම් ලියුම් ආවත් අද එය ලියුම් 30,40 සීමාවෙලා. හේතුව ළමයින්ට කාලය නොමැතිවීම.

*අද තිබෙන අනෙකුත් ළමා වැඩසටහන් පිළිබඳ ඔබ සෑහීමකට පත්වෙනවාද?

අද බොහෝ ළමා වැඩසටහන්වල තිබෙන්නේ සීමාව ඉක්මවා යන ළමා ස්වරූපයක්. ස්ටාර්ස් නමින් පටන්ගෙන තිබෙන ඇතැම් වැඩසටහන් දිහා බැලුවහම මේ ඉන්නේ ළමයෙක්ද කියලා හිතෙනවා. විවිධ දක්ෂතා තිබෙන අපේ දරුවන් අද මෙවැනි වැඩසටහන් නිසා අතරමංවෙන ස්වභාවයක් තිබෙනවා. ඇතැම් විද්‍යුත් මාධ්‍ය මේවා යහපත් චේතනාවෙන් ඉදිරිපත් කළත් ඒවාත් යම් පාලනයක් ඇතිව සිදුකරනවානම් තමයි හොඳ.

*හඳමාමා රූපවාහිනී මාධ්‍යයට ගෙන ආවොත් මීටවඩා ළමයින් අතරට යයි කියලා ඔබ හිතන්නේ නැද්ද?

රූපවාහිනී මාධ්‍යයට ගෙනයන්න පුළුවන්නම් ඉතාමත් හොඳයි. මමත් ඒ පිළිබඳ කල්පනා කළා. නමුත් එය මට තනිවම කරන්න පුළුවන් කාරණයක් නොවෙයි. රූපවාහිනී මාධ්‍යයට ගෙනියන්න කියලා සේවාදායකයෝ හොය හොයා යන්න මම කැමති නැහැ. යම් සේවාදායකයෙක් මට ආරාධනා කළොත් මම හඳමාමා රූපවාහිනියට ගෙන එන්න සූදානම්.

*පනස් වසර සමරනු වස් පැවැත්වෙන වැඩසටහන පිළිබඳ සඳහනක් කළොත්?

අවු: 50 කියන්නේ සෑහෙන කාලයක්. ඒ නිමිත්තෙන් දෙසැම්බර් 21 වැනිදා සවස් භාගයේ ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේදී උත්සවයක් පැවැත්වෙනවා. ගතානුගතික කතා, පිළිගැනීම්, ස්තූති කිරීම්වලින් තොරව වෙනස්ම ආකාරයට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන මේ කටයුත්ත සඳහා මම සෑම දෙනාටම විවෘතව ආරාධනා කරනවා.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]