බටහිර කුමන්ත්‍රණය විහිළුවක් නොවේ

අගවිනිසුරුතුමිය හා කකුළුවා

ළිප ගිනි මොළවන තෙක් දිය සැළියේ
සැපතක් යැයි කකුළුව දිය කෙළියේ
එපවත් තොප සිත තොස් නොව මැළියේ
සැපයක් නම් නැත කම් රස කෙළියේ

කුළුවා තමා ඉදිරියෙහි ඇති මහා විනාශය දකින්නේ නැත. ඌ එය දැකීමට තරම් ඥානවන්ත නැත. එබැවින් ඌ මහා කෙරුමකු ලෙස ජවය දක්වමින් සැළියේ නටයි. ඌගේ කෙළි-සෙල්ලම් නිමා වී විනාශයට පත් වන්නේ ජලය රත්වීමත් සමඟ ය. මේ කවිය ශ්‍රී ලංකාවේ වත්මන් අගවිනිසුරුතුමියගේ හා එතුමියගේ සහචරයන්ගේ ද දැනගැනීම හා ආදර්ශය සඳහා සටහන් කර තබන්නට කැමැත්තෙමු.

අගවිනිසුරුතුමිය හා ඇගේ සහචරයන් ඇති කරන ලද්දේ රාජ්‍ය විරෝධී කැරැල්ලකි. මේ කැරැල්ලට බටහිර රටවල සහයෝගය ලැබිණි. ඇතැම් ආසියාතික රටවල සහයෝගය ද ලැබිණි. රාජ්‍ය නො වන සංවිධාන, දෙමළ ඩයස්පෝරාව, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා ත්‍රීවීල් පක්ෂ ද මේ කැරැල්ල පසුපස සිටියහ. ඔවුන්ගේ ඉලක්කය වූයේ ආණ්ඩුව ගෙදර යවා රට අරාජික කොට නැවත බෙදුම්වාදය රජ කරවීම ය.

මේ දුෂ්ට ව්‍යායාමය හා කුමන්ත්‍රණය නෛතික වශයෙන් පරාජය කිරීමට මෙරට මහජන නියෝජිතයෝ සමත් වූහ. අගවිනිසුරුතුමිය පදවියෙන් ඉවත් කිරීමේ දෝෂාභියෝගය පිළිබඳ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී ඊට පක්ෂ ව ඡන්ද 155ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 49ක් ලැබිණි. මේ අනුව වැඩි ඡන්ද 106කින් දෝෂාභියෝගය ජයග්‍රහණය කර තිබේ. ඊළඟ තීන්දුව ඇත්තේ විධායක බලැති ජනාධිපතිවරයා අතේ ය. ජනාධිපතිවරයා දෙනු ලබන තීන්දුවට අනුව අගවිනිසුරුවරිය ඉවත් කිරීම හෝ නො කිරීම හෝ සිදු වේ.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එම තනතුරෙහි තබා ගැනීමට එරෙහි ව මහජන උද්ඝෝෂණ දින ගණනාවක් තිස්සේ පැවැත් වේ. එතුමිය මේ පදවියෙහි තබා ගැනීමෙන් නීතියේ හා අධිකරණයේ ගෞරවය කෙළෙසෙන බවත්; කොටි ත්‍රස්තවාදයේ බෙදුම්වාදයට නැවත පාර කැපෙන බවත් ජනතාව කියා සිටිති. එය සත්‍යයක් බව පසුගිය කාලය පුරාවට වූ සිදුවීම්වලින් පැහැදිලි වේ.

ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු පදවියට පත් කරන විට ඊට විශාල විරෝධයක් පැවැතිණි. ඇය මෙම පදවිය සඳහා සුදුසුකම් සපුරා නැතැ’යි පැමිණිල්ලක් ද අධිකරණයට ඉදිරිපත් විය. කුමන හෝ හේතු සාධක මත ඇය අගවිනිසුරු පදවියට පත් වේ. එහෙත් ඇයගේ කාල සීමාව තුළ එම පදවියේ ගෞරවය රැක ගනිමින් නීතිය හා අධිකරණය රැක ගැනීමට ඇය අපොහොසත් වන්නේ බලයෙන් උද්දාම වීම නිසා යැයි විවේචනයක් තිබේ. එතුමිය ශ්‍රී ලංකාව තුළ බෙදුම්වාදය ව්‍යාප්ත කිරීමට සහාය ලබා දෙන තැනැත්තියක යැයි විවේචනයක් ද තිබේ. මේ හැරෙන්නට සිය පදවියේ බල අධිකාරීත්වය උපයෝගී කර ගනිමින් දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වී ඇතැ’යි ද චෝදනාවක් තිබේ.

දෝෂාභියෝග ක්‍රියාවලිය සාර්ථක වීමෙන් පැහැදිලි වන්නේ ඉහත කී චෝදනා සත්‍යයක් බවය. මේ හැරෙන්නට ඇය හා ඇගේ සහචරයන් රටට සිදුකිරීමට ගිය විනාශය ගැන කල්පනා කරන විට ඉතා භයානක අනාගත චිත්‍රයක් මවා ගත හැකි ය. නුසුදුසු පුද්ගලයන් නුසුදුසු තැන්වලට පත් කිරීම නිසා මහා විනාශයන් ඇති විය හැකි ය. ඒ පිළිබඳ දෙවරක් සිතා බලන්නට පාලකයන් සිතට ගත යුතු ය.

2009 මැයි මාසයෙන් පසු මේ රටේ මිනිසුන් නිදහසේ කල් යවන්නට පටන් ගත්තේ ත්‍රස්තවාදය පරාජය කළ නිසා ය. එසේ නො වූයේ නම්; ශ්‍රී ලංකාව තව ම බෝම්බ පුපුරන අසාර්ථක රාජ්‍යයෙකි. එදා ත්‍රස්තවාදය පරාජය කරන සටනේ් දී ඊට විහිළු කළ පුද්ගලයෝ කවරහු ද? එදා කොටියා බේරාගන්නට ඉදිරිපත් වූවෝ කවරහු ද? බොහෝ දෙනකුට අතීතය අමතක ය. දෙමළ ජාතික සන්ධානය යනු කොටින්ගේ ම බළල් අතකි. ඔවුනට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය නොව උතුරේ වෙන ම රාජ්‍යයෙකි. එක්සත් ජාතික පක්ෂය යනු බටහිරට කත් අදින ධනපතියාගේ පක්ෂයකි. ඔවුන් කටයුතු කරනුයේ බටහිරට ගැළපෙන ලෙස ය. අවසන් මොහොතේ ජනතා විමුක්ති පෙරමුණ ද එම ගොඩට ම වැටුණේ් ය.

ත්‍රීවීල් පක්ෂ ලෙස හඳුන්වනු ලබන වමට බර යැයි පෙන්වන දේශපාලන ව්‍යාපාරවලට කවදත් තිබුණේ දෙපිටකාට්ටු පිළිවෙතකි. ඔව්හු වමට සිග්නල් දමා හරි අපූරුවට දකුණට යති. මේ පක්ෂවල නායකයනට රටට හෙණ ගැහුවත් කමක් නැත. අර්බුද මතු වන තරමට ඔවුන් කැමැති ය. එවිට ඔවුනට කතා කිරීමට වේදිකාවක් ලැබේ. බටහිර සංවිධාන වෙතින් විදේ්ශ චාරිකා හා මුදල් ලැබේ. එම වරදාන සඳහා ඕනෑ ම දෙයක් පාවා දීමට ඔවුන් සූදානම් ය. අද අගවිනිසුරුතුමිය ගේ කැරැල්ල වටා ඇත්තේ අප මුලින් සඳහන් කළ සියලු කණ්ඩායම් ය. මොවුන් අශුද්ධ සන්ධානයක් තුළ පෙළ ගැසී සිටින බව මොළය ඇති කාටත් වැට හේ.

කුමන බලවේග ක්‍රියාත්මක වුව අගවිනිසුරුතුමිය ගෙදර යැවීම නැවැත්විය නො හැකි ය. ඊයේ සහ පෙරේදා පැවැති ජනතා උද්ඝෝෂණවලින් පැහැදිලි වන්නේ අගවිනිසුරුතුමියට එරෙහි ජනතා රැල්ලක් ඇති බව ය. වඩාත් වැදගත් වන්නේ පාර්ලිමේන්තුව වැනි ජනතා ආයතනයක් රැක ගැනීම ය. ඒ මඟින් රටේ නිදහස පවත්වා ගැනීම ය. ඊළඟට නීතියේ ගරුත්වය ආරක්ෂා කිරීම ය.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ හිතුවක්කාරී ක්‍රියා කලාපය නිසා රටේ නීතියත් අධිකරණයේ ගෞරවයත් පිරිහීමට පත් වූ බව රහසක් නො වේ. අවසානයේ අධිකරණයේ ගරුත්වය සඳහා සටන් වදින්නට ජනතාවට සිදු වී තිබේ.

ශ්‍රී ලංකාවේ දේශප්‍රේමී ජනතා පුත්‍රයන් ගැන අපට සතුටු විය හැකි ය. ඔවුන් නැවතත් රට හා ජාතිය බේරාගෙන තිබේ. දේශීය හා විදේශීය කුමන්ත්‍රණකරුවන් පරාජය කර තිබේ. මේ දෝෂාභියෝග ක්‍රියාවලියට පක්ෂව ඡන්දය පාවිච්චි කළ මහජන නියෝජිතයන් දේශප්‍රේමීන් ලෙස ද ඊට එරෙහි වූවන් දේශද්‍රෝහීන් ලෙස ද සැලැකිය හැකි ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා