දෝෂාභියෝගය ජ‍ාත්‍යන්තරයට ගෙනියන්න බෑ

දෝෂාභියෝගය ජ‍ාත්‍යන්තරයට ගෙනියන්න බෑ

හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම

අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝෂාභියෝගය සම්බන්ධ වර්තමාන තත්ත්වයත්, මේ පිළිබඳ අදාළ විය හැකි ජාත්‍යන්තර තත්ත්වයන් මොනවා ද යන්න ගැනත්, මතු කෙරෙන විවේචන හා ඉදිරි ක්‍රියාදාමය ගැනත් හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා සමඟ කළ සංවාදයකි.

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේ වත්මන් තත්ත්වය ඔබ නිරීක්‍ෂණය කරන්නේ කෙසේ ද?

අගවිනිසුරුවරියට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 117 දෙනෙකු විසින් කතානායකතුමාට දෝෂාභියෝගයක් භාර දුන්නා. ඉන්පසු එය විමර්ශනය කිරීමට අනුර පි‍්‍රයදර්ශන යාපා ඇමැතිතුමාගේ සභාපතිත්වයෙන් යුතුව, ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ නියෝජිතයන්ගෙන් සමන්විත තේරීම් කාරක සභාවක් පත් කළා. එම කාරක සභාව විසින් මේ විමර්ශනය සිදුකර එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

දැන්, තවදුරටත් තේරීම් කාරක සභාවක් නෑ. එහි කාර්යය අවසන්. මේ පිළිබඳ පාර්ලිමේන්තු විවාදය 10, 11 දෙදින පවත්වා ඡන්දය විමසීමෙන් අනතුරුව අවසන් තීන්දුව ගැනීම සඳහා ජනාධිපතිතුමා වෙත යොමු කෙරෙනවා. මේක තමයි මේ පිළිබඳ ව්‍යවස්ථාමය ක්‍රියාදාමය. එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තියේ පැහැදිලිව සඳහන්. එය තේරුම් ගැනීම සංකීර්ණත් නෑ.

තේරීම් කාරක සභාවේ වාර්තාව පිළිගත නොහැකි බව කියමින් අගවිනිසුරුතුමියගේ පාර්ශවය අධිකරණයට ගියා. එම පෙත්සම අභියාචනාධිකරණය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීමෙන් පසු එහි තීන්දුව ලැබුණේ මේ දෝෂාභියෝග ක්‍රියාදාමය සම්මත ක්‍රමයට පටහැණි බවටයි. අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා. එම නිසා පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය හරි ද? නිවැරදි ද? කියන ප්‍රශ්නය මතු වෙනවා.

මං දකින විදිහට, මේ පිළිබඳ පාර්ලිමේන්තු ක්‍රියාදාමය ව්‍යවස්ථාවේ සරලව, පැහැදිලිව සඳහන් වෙලා තියනවා. මෙවැනි යෝජනාවක් ගෙනාවාම කතානායකතුමා ට ඒක භාර නොගෙන බෑ. මේක භාරගත්තම අදාළ පාර්ලිමේන්තු ක්‍රියාදාමය ඉබේම ක්‍රියාත්මක වෙනවා.

මීට පෙර නෙවිල් සමරකෝන් අගවිනිසුරුවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වුණා. එතුමා වෙනුවෙන් පෙනී සිටියේ රාජ නීතිඥ නඩේෂන් මහත්මයා. තේරීම් කාරක සභාවේ සභාපති ලලිත් ඇතුලත්මුදලි ඇමැතිතුමා එතැනදීත් මෙවැනි අවස්ථාවක දී අදාළ වන පාර්ලිමේන්තු ක්‍රියාදාමය පැහැදිලිව සඳහන් වුණා. අදාළ විමර්ශනය සිදුකිරීම ඉබේම ක්‍රියාත්මක විය යුතුයි. මේ පිළිබඳ වගකීම පාර්ලිමේන්තුවට තියෙනවා.

දැන්, මේ අවස්ථාවෙත් එම ක්‍රියාවලිය ඒ විදිහටම සිදු වී තිබෙනවා. අගවිනිසුරුවරියත් මේ විමර්ශනයට සහභාගි වුණා. විමර්ශනය කිරීමේ බලය තියෙන්නේ තේරීම් කාරක සභාවට යි, ඒක නෑ කියන්න බෑ. ඒක එජාපය පවා පිළිගන්නවා. ජනතා පරමාධිපත්‍ය බලය නියෝජනය වන පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ගැන අවධාරණය කෙරෙන්නේ මේ පදනම මතයි.

දෝෂ‍ාභියෝගයකදී ජාත්‍යන්තර තත්ත්වයන් අදාළ වන්නේ කෙසේ ද?

ජාත්‍යන්තර වශයෙන් අවධානයක් යොමු කෙරෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කිරීම, ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීම, ජනතා පරමාධිපත්‍ය ආරක්‍ෂා කිරීම, මහජනයාගේ ආරක්‍ෂාව, මානව හිමිකම් වලට ගරු කිරීම, නිසි කලට නිදහස් හා සාධාරණ ලෙස මැතිවරණ පැවැත්වීම වගේ කාරණා සම්බන්ධව යි. මේ කොයි කාරණය ගත්තත් ශ්‍රී ලංකාවේ තත්ත්වය අවතක්සේරු කිරීමේ හැකියාවක් නෑ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වෙනත් රටවලත් මෙවැනි දෝෂාභියෝග යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. නිදසුනක් ලෙස අමෙරිකාව ගත්තොත් එවැනි අවස්ථා 65 ක් පමණ හමුවෙනවා. එතකොට ඒවා ව්‍යවස්ථාවට එකඟ ද නැද්ද කියල අපි අමෙරිකාවෙන් ප්‍රශ්න කරන්න ගියේ නෑ.

පවතින ව්‍යවස්ථාවට අනුව, ස්ථාවර නියෝග වලට අනුව කටයුතු කළා මිස අතීතයට බලපාන ආකාරයට මේවා වෙනස් කරන්න අපි ක්‍රියා කරලත් නෑ. 1962 කුමන්ත්‍රණයට අදාළව රැජින එදිරිව ලින්කන් නඩු තීන්දුව මඟින් පසුව නීති හදා දඬුවම් කිරීම ප්‍රතික්ෂේප වුණා. ප්‍රිවි කවුන්සිලය කළේ නඩුව ඉවත දැමීම. ඒ නිසා මෙතැනදිත් මේ කාරණා අදාළ යි. පවතින ව්‍යවස්ථාමය තත්ත්වය යටතේ මේ කාරණය විභාග කර අවසන් විය යුතුයි. ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීම, අලුත් ව්‍යවස්ථාවන් අවශ්‍ය නම් නිර්මාණය කර ගැනීම වගේ කාරණා පසුවට අදාළ වන ඒවායි.

මේ දෝෂාභියෝග ක්‍රියාවලිය සම්බන්ධයෙන් යුරෝපා සංගමය, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතන නිවේදන නිකුත් කළා. මේවා දෙස ඔබ බලන්නේ කොහොම ද?

මං දකින විදිහට ඔය වගේ ප්‍රකාශ නිකුත් කළ පමණින් ම අපේ රටට අත පෙවීමක් සිදුවන්නේ නෑ. මේක අපේ රටේ ව්‍යවස්ථාවට අනුව රට තුළ සිදුවන ක්‍රියාදාමයක්. මේ පිළිබඳ ඇති වී තිබෙන සංවාදය මඟින් වුණත් සිදුවෙන්නේ මේ ක්‍රියාවලියේ ඇති විනිවිදභාවය තහවුරු වීමයි. එසේ නම් ඔය විදිහේ ප්‍රකාශ නිකුත් වීම කියන්නේ අපට වඩාත් හොඳ පිළිතුරු මඟින් ප්‍රතිචාර දැක්වීමට අවස්ථාවක් ලැබෙනවා කියන එකයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ත්‍රස්තවාදය පරාජය කර රටත්, ජනතාවත් ත්‍රස්තවාදයේ පීඩනයෙන් මුදා ගනිමින් ලෝකයට දුන් ආදර්ශය වෙනුවෙන් ජාත්‍යන්තරයේ ගෞරවය නිසි කලට හා නිසි ලෙසට එතුමාටත් අපේ රටටත් ලැබිය යුතුයි.

ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ගැටුම්කාරිත්වයක් නිර්මාණය කර එම තත්ත්වය මාර්තු මස ජිනිවා හිදී පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී මතු කිරීමට ප්‍රයත්නයක් ඇතැයි අදහස් පළ වෙනවා?

දේශීය හා අන්තර් ජාතික රාජ්‍ය නොවන සංවිධාන එවැනි උත්සාහයක යෙදෙනවා. එල්.ටී.ටී.ඊ යේ අතකොළු ලෙස ක්‍රියා කරමින් ශ්‍රී ලංකාවට ප්‍රශ්න ඇතිකිරීම ඔවුන්ගේ වුවමනාව බව පැහැදිලියි. නමුත් මේ ප්‍රශ්නය ජාත්‍යන්තරීකරණය කිරීමට ගන්නා උත්සාහය සාර්ථක වේ යැයි මා සිතන්නේ නෑ. මොකද ශ්‍රී ලංකාව මෙය සිදුකර ඇත්තේ රටේ ව්‍යවස්ථාවට අනුවයි. එවැනි ක්‍රියාවලියක් පිළිබඳ ජිනීවා වලදී යෝජනා සම්මත කිරීමට එහි පිළිගන්නා සම්මතයන් ට අනුවත් හැකියාවක් නෑ.

තිස් අවුරුදු යුද්ධයකින් පසු නඟී සිටින රටේ ඉදිරි ගමන වැළැකීම, රට අස්ථාවර කිරීම මේ ඇතැම් බලවේග වල වෑයම බව පැහැදිලියි. මේ කාරණය බුද්ධිමත්ව වටහා ගැනීමේ වැදගත්කම ඔබ අවධාරණය කරන්නේ කොහොම ද?

මේ දෝෂාභියෝගය ඉදිරිපත් වුණේ ව්‍යවස්ථානුකූලව යි. එය අධිකරණයට එල්ල වූ බලපෑමක් නෙවෙයි. ව්‍යවස්ථාදායකය – විධායකය – අධිකරණය අතර ගැටුම්කාරිත්වයක් ඇති නොවන පරිදි එම කාර්යභාරයන් පිළිබඳ පැහැදිලිව ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. නිදසුනක් ලෙස ව්‍යවස්ථාවේ 110 වගන්තිය ගත්තොත් විධායකය හා අධිකරණය අතර සම්බන්ධය දැක්වෙනවා. අධිකරණය සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ දී ජනාධිපතිවරයාට ඇති බලතල මෙන්ම විධායකය හා අධිකරණය අතර ඇති සමීප බැඳීමත් මේ වගන්ති මඟින් දැක්වෙනවා.

108 (3) වගන්තිය ගත්තොත්, ජනාධිපතිවරයාගේ අවසරය ඇතිව විනිසුරුවරුන්ට විදේශයකට ගොස් එම වෘත්තියේ යෙදීමටත් පුළුවන්. එමඟින් මුදල් උපයාගෙන ආපසු මව් බිමට පැමිණිය හැකියි. මේ බලතල පැහැදිලිව දැක්වෙනවා. හැබැයි, ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ විනිසුරන් පත් කළාට ජනාධිපතිවරයා නඩු අහන්න යන්නේ නෑ. මේ කාරණා සංකීර්ණ නෑ. ඒ නිසා හරියට තේරුම්ගත යුතුයි. නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමාට එරෙහි දෝෂාභියෝගයේ දී මෙවැනි තත්ත්වයක් ඇති නොවුණේ ඒ තේරුම් ගැනීම හරියාකාර සිදුවූ නිසා.

ව්‍යවස්ථාව බිඳ වැටුණොත් මොකද වෙන්නෙ? අද බලන්න ලිබියාවේ, ටියුනීසියාවේ, ඊජිප්තුවේ, යේමනයේ, සිරියාවේ සිදුවෙන දේ. දීර්ඝ කාලයක් අපි මේ ව්‍යවස්ථානුකූල ක්‍රියාදාමය පවත්වාගෙන ආවා. ව්‍යවස්ථාවට සංශෝධන එක් කළ යුතු නම් ඒකත් අවශ්‍ය නම් 72’ දී 78’ දී කළා වගේ අලුත් ව්‍යවස්ථාවක් හදන්නත් පුළුවන්. හැබැයි, එතෙක් අපි කටයුතු කළ යුත්තේ පවතින ව්‍යවස්ථාවට ගරු කරමිනුයි. විනයානුකූලවයි. එය බිඳ වැටීමට ඉඩ නොදිය යුතුයි. අනෙක, සර්ව සම්පූර්ණ ව්‍යවස්ථාවක් ලෝකයේ කොතැනකවත් නැති බවත් අපි පිළිගත යුතුයි.

මේ දෝෂාභියෝග ක්‍රියාවලිය අවසානයේ දී තීරණය වන්නේ ජනාධිපතිතුමාගේ තීන්දුව මතයි. මේ ගැන පැහැදිලි කිරීමක් කළ හැකි ද?

ජනාධිපතිතුමාට අවශ්‍ය නම් දෝෂාභියෝගය පිළිබඳ ලැබෙන තීරණය පිළිනොගෙන කටයුතු කිරීමට වුණත් ව්‍යවස්ථාවෙන් ඉඩ සැළසී තියෙනවා. මෙහිදී එතුමා මේ තීරණය ගන්නේ ඒ පිළිබඳව මනාව පරිශීලනය කිරීමෙන් පසුවයි. ව්‍යවස්ථාවෙන්ම ඒ ක්‍රියා පිළිවෙත පිළිබඳ පැහැදිලි කෙරෙනවා. ජනාධිපතිතුමා වුණත් අණ – පනත් ඉදිරිපත් කරන්නේ කැබිනට් මණ්ඩලය හරහා යි. චන්ද්‍රිකා ජනාධිපතිතුමියගේ පාලනය යටතේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ආණ්ඩුව තිබියදීත් ඒ කටයුතු සිදුවුණේ එහෙමයි.

මේ තත්ත්වයත් රටින් රටට වෙනස්වන අවස්ථාත් තිබෙනවා. අමෙරිකාවේ කැබිනට් මණ්ඩලයට සාමාජිකයන් පිටතින් පත් කළ හැකියි. බ්‍රිතාන්‍යයේ එවැනි හැකියාවක් නෑ. ඉන්දියාවෙත් නෑ. ඒ, ඒ රටවල ව්‍යවස්ථාවට අනුව ඒවා සිදුවෙනවා වගේ අප කටයුතු කළ යුත්තේත් අපේ ව්‍යවස්ථාවට අනුවයි. මේ පිළිබඳ ජනාධිපතිතුමාගේ තීරණය ඒ අනුව ප්‍රකාශයට පත්වෙයි කියන එකයි මගේ විශ්වාසය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා