නිරෝගි දිවියකට නිල්ල පිරුණු තෙත් බිම් උද්‍යාන

නිරෝගි දිවියකට නිල්ල පිරුණු තෙත් බිම් උද්‍යාන

නුගේගොඩ නාවල පාරට මුහුණ ලා ඉදිකෙරුණු තෙත් බිම් උද්‍යානය අද (12) සවස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ.

නිරෝගී පරපුරත්, ජනතාවත් රටට සම්පතකි. එක් අතකින් එය රටක සංවර්ධනය මනින මිනුම් දණ්ඩකි. සෞඛ්‍ය සම්පන්න ජනතාවක් සිටින රටක් යනු සංවර්ධනයෙන් ගොඩ නැඟෙන දේ්ශයකි.

උද්‍යානයේ ව්‍යාය‍ාම තීරූ

බෝ නොවන රෝගවල එනම් දියවැඩියාව, කොලෙස්ටරෝල්, විෂාදය, අධි රුධිර පීඩනය වැනි රෝග මෑත කාලයේ වැඩි වශයෙන් වාර්තා වේ. එසේම මෙවැනි රෝගවල වර්ධනයට හේතු වශයෙන් දැක්වූ කරුණුවල නිසි ව්‍යායාමයක් නොලැබීම ද ප්‍රධාන හේතුවක් ලෙස සඳහන් වේ.

එසේ නම් ශරීර සුවතාව පවත්වා ගැනීම සඳහා ව්‍යායාම කිරීමේ අවශ්‍යතාව අද වැඩි වැඩියෙන් අවශ්‍ය මෙන්ම, ඒ අවශ්‍යතාව තදින්ම ඕනෑ කරන යුගයක අපි වෙසෙමු.

නාගරික ප්‍රදේශවල තෙත් බිම් උද්‍යාන ස්ථාපිත කිරීමේ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ වෑයම ක්‍රියාත්මක වන්නේ නිරෝගී පරපුරක් බිහි කිරීමේ උතුම් අරමුණෙනි. එම අරමුණින් ඔබ්බට ගොස් දරුවන්ට විවේකයෙන් විනෝදයෙන් මොහොතක් ගත කිරීම ද තෙත් බිම් උද්‍යාන ඇති කිරීමේ තවත් අරමුණකි.

මේ සඳහා නුගේගොඩ ප්‍රදේශයේ අක්කර 18.23 ක භූමි ප්‍රමාණයක් පවරා ගෙන ඇත.

එහි පළමු අදියර යටතේ රුපියල් මිලියන 81.6ක පමණ වියදමකින් නුගේගොඩ, නාවල පාරට මුහුණ ලා ඇති අක්කර පහක භූමියක තෙත් බිම් උද්‍යානයක් නිර්මාණය කර ඇත.

ඉතා මනරම් අයුරින් සකසා ඇති මේ භූමියේ මහජන විවේකය ගත කිරීම සඳහා වූ උද්‍යාන, පා ගමන් තීරු, ව්‍යායාම් තීරු, ළමා උද්‍යාන ආදියෙන් සපිරිය.

මුල් කාලීනව වනගතව පැවැති මේ භූමියේ පසුව වෙළෙඳසල් ඉදි කෙරිණි. වැලි ප්‍රවාහන රථ නවතා තැබිණි. වල් බිහි වී කිසිවකු ගේ නිරීක්‍ෂණයට ලක් නොවුණු මෙම බිම්කඩ පසුගිය කාලයේ මත් ලෝලීන්ගේ රජ දහනක් බවට පත්ව තිබිණි. අනාරක්‍ෂිතව පැවැති මෙම භූමිය උද්‍යානයක් ලෙස අලංකාරව සැකසීම ඉතා අගනා කටයුත්තක් බව ප්‍රදේ්ශවාසීහු පෙන්වා දුන්හ.

විවේකය ගත කිරීමට සුන්දර ස්ථාන

උද්‍යානය සමඟ ඉදිකර ඇති ජලය බැසයන ජලපවහන පද්ධතිය හේතුවෙන් ‍ෙමතෙක් වැසි ජලයෙන් යට වෙමින් තිබූ අවට ප්‍රදේශය ආරක්‍ෂා වන අතරම ජලයෙන් යටවීම වැලකී යනු ඇත.

මහජනතාවට පැය විසිහතර පුරාම විවේකීව ගත කිරීමට හැකි වන පරිදි උද්‍යානය සැකසී ඇත. මෙම භූමියේ පාවෙන භෝජනාගාරයක් මෙන්ම අවන්හල් ද ස්්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.

මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ, ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනේ දී නගර අලංකරණය සඳහා හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි.

නගරවල ඇති අක්‍රමවත් බව දුරුකර සුපිරි තත්ත්වයට පත් කිරීමේ උදාර අරමුණ ඇතිව තෙත් බිම් උද්‍යාන ඉදිකිරීමේ කටයුත්තට සමගාමීව ඉතිහාසයේ මෙතෙක් නොකෙරුණු ව්‍යාපෘති රැසක් ඉටු කිරීමට රජය සැලසුම් සකසා අවසාන ය.

රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ සංකල්පයක් අනුව එතුමා ගේ මෙහෙයවීමෙන් නගර අලංකරණ කටයුතු සිදු වේ.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා හා අධ්‍යක්ෂ ජනරාල් නිහාල් ප්‍රනාන්දු මහත්වරුන් ගේ අධීක්‍ෂණය යටතේ එම අධිකාරියේ භූ දර්ශන නිර්මාණ ඒකකය මගින් නාවල පාර තෙත් බිම් උද්‍යානය නිර්මාණය කිරීම සඳහා වියදම් දරා ඇත.

නුගේගොඩ නගරය අලංකරණය කිරීම හා වැසි ජලයෙන් ආරක්‍ෂා කර ගැනීම ඇතුළු සමස්ත කටයුත්ත වෙනුවෙන් පවරා ගෙන ඇති අක්කර 18.23 ක භූමි ප්‍රදේශය විවිධ ස්ථානවල ඇති මෙතෙක් සංවර්ධනයට යොදා නොගත් භූමි කොටස් බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව මේ වැඩසටහනට සමගාමීව නුගේගොඩ අවට ඇති ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කරයි. නුගේගොඩ පාගොඩ මාර්ගයෙන් ආරම්භ වන කිලෝ මීටර් 0.75ක දිගු ඇළ මාර්ගය මේ අනුව සංවර්ධනය කරයි.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් නිර්මාණය වන තෙත් බිම් උද්‍යානවල නිලෙන් පිරුණු තුරුලතා මල්වලින් ආවරණය වූ මාර්ග, දිය පොකුණු, ආවරිත බොරලු මාර්ග හා ජලය මත පාවෙන භෝජනාගාර ආදී පහසුකම් හා අලංකරණයෙන් පරිපූර්ණ තත්ත්වයට පත් කෙරේ.

ශ්‍රී ලංකා යුද, නාවික හමුදා හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සෙබළුන් ගේ දායකත්වයෙන් ඉදිකිරීම් සිදු කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා