ජනතාවට ආදරය කරන්න, ජනතාවගේ ආදරය ලබන්න

විශිෂ්ටතම රාජ්‍ය සේවය

ජනතාවට ආදරය කරන්න, ජනතාවගේ ආදරය ලබන්න

උදා වූ නව වසරේ නව බලාපොරොත්තු සහිතව රාජකාරි අරඹන ඔබ සියලු දෙනාට සුබ නව වසරක් වේවායි මුලින් ම ප්‍රාර්ථනා කරනවා.

ඒ සමඟම පසුගිය වසර ගැන සිංහාවලෝකනයක යෙදීමට ඔබට ආරාධනා කරන්න මා කැමැතියි. ගත වූ දින තුන්සිය හැටපහේ ඔබේ ජීවිතය තුළ මොන මොන වෙනස්කම් සිදුවුණාද? මෙතැන සමහරු ඉන්න පුළුවන් දරාගන්න බැරි වියෝ දුක්වලට මුහුණු දුන් අය. බලාපොරොත්තු නොවූ කරදරවලට මුහුණ දුන් අය. විවිධ සිත් රිදවීම්වලට රාජකාරි ජීවිතයේදී; පෞද්ගලික ජීවිතයේදී මුහුණ දුන් අය. ඒ පරාජයන් පිසදා ෆිනික්ස් පක්ෂියා අළු ධූලි මතින් නැගී සිටින්නා වාගේ ජීවිතය බදා වැළඳගෙන නැගී සිටින්නයි මේ මොහොතේ අධිෂ්ඨාන කරගත යුත්තේ.

අනෙක් අතට පසුගිය වසරේ ජීවිතයේ නව අපේක්‍ෂා දැල්වුණු අය මෙතැන ඇති. ඒ ගමනේදී කාට හෝ සිත් රිදවීමක් වුණා නම් ඔබ කළ යහපත් වැඩක් නිසා කාගේ හෝ ජීවිත යහපත් කරන්න. ඔසවා තබන්න. ඔබට හැකි වුණා නම් ඒ සියල්ල පිළිබඳ සිංහාවලෝකනයක යෙදෙන්න සුදුසු මොහොත තමයි මේ එළැඹී තියෙන්නේ.

රාජ්‍ය සේවය ඉතා ශක්තිමත් වෙන යුගයක සේවය කරන්න ලැබීම ගැන අද දවසේ ඔබට සතුටු විය හැකියි. පසුගිය කාලය පුරා සිදුවුණේ රාජ්‍ය සේවය ක්‍රමානුකූලව දිය කර හැරීම. මේ රජය පත්වනවිට රාජ්‍ය සේවකයන් හිටියේ ලක්ෂ 08යි. අද ලක්ෂ 13 කට ආසන්නයි. මෑත ඉතිහාසයේ වැඩිම රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව උපාධිධාරීන් ලෙස පනස් දෙදාහක්, රාජ්‍ය සේවයට එක්කර ගත්තා. ජනාධිපතිතුමා තරම් රාජ්‍ය සේවයට රාජ්‍ය සේවකයාට ආදරය කරන ඒ ගැන විශ්වාසය තියෙන නායකයෙක් ඉතිහාසයේ හිටියේ නෑ.

උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර කරුණාරත්න දිවුල්ගනේ

ඇයි එතුමා මේ තරම් රාජ්‍ය සේවකයන් බඳවා ගන්නේ?

ජනතා හිතවාදී විශිෂ්ටතම රාජ්‍ය සේවයක් සඳහා රාජ්‍ය සේවාව ගැන මහින්ද චින්තනයේ සඳහන් වෙන්නෙ එහෙමයි.

බලන්න, එතුªමා ඔබ ගැන හිතන හැටි.

රාජ්‍ය සේවකයා මුලින් ම ජනතා හිතවාදී වෙන්න ඕනෑ. ඒක තමයි පළමු කොන්දේසිය. තමන්ගේ සේවය බලාපොරොත්තු වෙන ජනතාව ගැන ආදරයක්, අනුකම්පාවක්, ගෞරවයක් හොඳ රාජ්‍ය සේවකයකු තුළ තියෙන්න ඕනෑ. අපේ පළාතේ, උතුරු මැද පළාතේ ජනතාව මෙතෙනදී විශේෂ කොට දකින්න මා කැමතියි.

ඇයි මා එහෙම දකින්නේ?

අවුරුදු 1400ක රාජකීය යුගයකින් පස්සේ මේ පළාතේ ජනතාව වැටුණේ අඳුරු අගාධයකටයි. ඔවුන්ගේ ජීවන මාර්ගය බැඳිලා තිබුණේ වැව් එක්ක. රාජකීය අනුග්‍රහය නැතුව මේ දැවැන්ත වාරි පද්ධතිය නඩත්තු කර ගන්න ඔවුන්ට බැරි වුණා.

අන්තිමට වැව් ටික නටඹුන් වුණා. වතුර වෙනුවට වනාන්තරය වැව්වලට ගලාගෙන ආවා. ඉංග්‍රීසි ඒජන්තවරු ඔවුන්ගේ වාර්තාවල සටහන් කරලා තියෙන දේවල් කියවලා බලන්න. ඔවුන් එනවිට තුන් වේලටම කුරක්කන් කාපු ජනතාවක් රජරට ඉඳලා තියෙන්නේ. අයිවර්ස් කියන සුදු ඒජන්තවරයා සඳහන් කරනවා කුරක්කන් රොටියේ දැඩි බව ගැන. ඔහු ලියනවා සමහරක් දවස්වල ඔහු තම තුවක්කුවේ ඇබ හැටියටත් කුරක්කන් රොටී කැබලි යොදාගත්තා කියලා. කුසගින්න, ලෙඩරෝග හා නූගත්කමයි එදා මේ පළාත ගිලගෙන තිබුණේ.

කන්නන්ගර වාර්තාව ලියන කාලේ මේ පළාතේ සාක්ෂරතාව 2%යි. ඒ ජනතාවගෙන් තමයි ඔබ මම පැවත එන්නේ. ඒ ජනතාවගෙ දරුවො තමයි ඔබ ළඟට සේවය පතා එන්නේ. ඔවුන් ඔබ ළඟට එන්නෙ යාන්තම් මග වියදම් හොයාගෙන. අරලගංවිල, පදවියේ ගොවියෝ, පැල් මැස්සෙන් බැහැලා වට්ටක්කා ගෙඩියක් විකුණාගෙන මග වියදම් හොයාගෙනයි ඔවුන් ඔබ හමුවන්න එන්නේ.

සමහර විට ඔවුන් ලියුමක් ඉදිරිපත් කරන නිවැරැදි ධූරාවලිය දන්නේ නෑ. කොතනින් පටන් ගන්නවද දන්නේ නැහැ. ප්‍රශ්නය කාට ඉදිරිපත් කළ යුතු ද දන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා. ඔවුන් සුහදව පිළිගන්න. නිවැරැදි මග කියාදෙන්න ප්‍රශ්නය ඒ වෙලාවෙම නොවිසඳුනත් ඔහු ගෙදර යන්නේ ඔබට පිං දිදී.

අනික අප ළඟට එන හැම කෙනකුටම නිදහස් අධ්‍යාපනයෙන් උගත් දරුවෝ හැටියට අපි ලොකු ණයක් ගෙවන්න තියෙනවා. අහිංසක ගොවියාගෙ දාඩිය සුවඳ රැඳුණු ශත පනහත් අපට ඉගෙන ගන්න වැය කරලා තියෙනවා.

මහත්මා ගාන්ධිතුමා සඳහන් කළේ ඒකයි ඔබේ මේසය ළඟ හිටගෙන ඉන්න මේ මිනිසා ඔබේ සේවකයා නොව ස්වාමියා කියා හිතන්න. ස්තුති කරන්න ඔහුට සේවය කරන්න අවස්ථාවක් ලබාදීම ගැන.

එහෙම උනොත් විතරයි ජනතා හිතවාදී රාජ්‍ය සේවාවක් බිහිවෙන්නෙ.

මා කැමතියි මීළඟට මහින්ද චින්තනයේ ඊළඟ අවධාරණය කිරීමට යන්න. රාජ්‍ය සේවය ජනතා හිතවාදී බව පමණක් නොවෙයි “විශිෂ්ටතම” වෙන්න ඕනෑ.

කොහොමද විශිෂ්ටතම රාජ්‍ය සේවකයෙක් වෙන්නේ? මානව සම්පත් කළමනාකරණයේදී වැඩකරන මිනිස්සු කොටස් හතරකට දක්වනවා.

පළමුවෙනි කොටස තමයි Stars තරු, ඒ ගොල්ලො හරියට වැඩ දන්නේ නෑ. දන්න ටික හොඳට කරනවා. වැඩ ඉගෙන ගන්නත් ආසයි. මේ ගොල්ලො ගැන බලාපොරොත්තු තියන්න පුලුවන්.

දෙවැනි කොටස වැඩ කරන අශ්වයෝ

Working Horses තමන් දන්න පැරැණි ක්‍රමේටම බර ඇදගෙන වැඩ කරනවා. හැබැයි වෙනස් වෙන්න කැමැති නෑ. අපේ පැරැණි ගම්මුලාදෑනිවරු වගේ.

තුන්වෙනි කොටස රාජ්‍ය සේවයෙන් අයින් කළයුතු අය. Dead Woods. මැරිච්ච ගස්.

වැඩ කරන්නෙත් නෑ. ඉගෙන ගන්නෙත් නෑ.

හතරවෙනි කොටස තමයි හොඳම අය. හොඳීන් සේවය ඉටු කරනවා. ඉගෙන ගන්නත් වෙනස් වෙන්නත් කැමැතියි. ඒ අය තමයි Super Stars සුපිරි තරු. ඔබ අතර මේ වගේ අය ඕනෑ තරම් ඉන්නවා. අද රාජ්‍ය සේවය ඉල්ලා සිටින්නේ මේ වගේ අය තමයි.

ඒ වගේම රාජකාරියේදී කොන්ද කෙලින් තියාගන්න. ඔබට රාජකාරිය කෙලින් කරන්න මඟ පෙන්වන මුදල් රෙගුලාසි පරිපාලන රෙගුලාසි චක්‍රලේඛ රජය ලබාදීලා තියෙනවා. ඒ ඇර වෙන මොනම බලපෑමක්වත් ආවත් සැලෙන්න එපා.

හැබැයි මේකෙන් අදහස් වෙන්නෙ නෑ ආරක්ෂක පළිහක් විදිහට ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි. චක්‍රලේඛ යොදාගන්න කියන එක. අද මේ රට යන්නේ වේගවත් ගමනක්. පරම්පරා ගණනාවක් අපි නොදැක්ක අති දැවැන්ත සංවර්ධන සංග්‍රාමයක් අද සිදුවෙමින් තියනවා. එදා පාරකට බෝක්කුවක් දාගන්න පෙත්සම් සිය ගණනක් දෙන්න වුණා. අද එක පෙත්සමක් නැතුව බෝක්කු, පාලම් සිය දහස් ගණනක් ඉදිවෙනවා. එදා ඉස්කෝලෙට ගොඩනැගිල්ලක් හදාගන්න පෙත්සම් සිය ගණන් දුන්නා.

අද දෙමහල් තුන්මහල් පාසල් ගොඩනැගිලි ඉදිවෙනවා එක පෙත්සමක් නැතුව. යුද්ධය තියෙද්දිත් බිලියන 17ක් සංවර්ධනය සඳහා වැය කරපු රජයක් මේක. මේ වේගය රටට අවශ්‍යයි. එතෙනදි සාම්ප්‍රදායික විදියට චක්‍රලේඛ විතරක් උස්සාගෙන දඟලන්න එපා. ඒවා තුළින් මේ ගමන යන්න ඉඩකඩ හදල දෙන්නේ කොහොමද කියලා ඔබට නිර්මාණාත්මකව හිතන්න වෙනවා. එහෙම උනොත් තමයි විශිෂ්ටතම රාජ්‍ය සේවාවක් බිහි වෙන්නේ.

මානව හිතවාදී විශිෂ්ටතම රාජ්‍ය සේවකයෝ ඉතිහාසය පුරා වැඳුම් පිදුම් ලබනවා. රජරට ජනතාව තුළ විශ්වාසයක් තියනවා කලාවැව වගේ මහා වාරි කර්මාන්ත ඉදි කරන්නට රජතුමාට උදව් කළ ඉංජිනේරුවරයා; රාජ්‍ය සේවකයා තමයි අයියනායක දෙවියන් වුණේ කියලා. වැව ආරක්‍ෂා කරපු ඬලධාරියා තමයි “සෙනෙවිරත්න මුල් කඩවර” නමින් දේවත්වයෙන් අදත් පිදුම් ලබන්නේ කියලා.

අපි දන්න ඉතිහාසයේ එහෙම ජනතා හදවත්වල ජීවත්වුණු රාජ්‍ය නිලධාරින් හිටියා. පී‍්‍රමන් දිසාපතිතුමා අනුරාධපුරයට ආපු සුදු ඒජන්තවරයෙක්. එතුමා මේ පළාතට; ජනතාවට දැඩි සේ ආදරය කළා. අනුරාධපුරය දාල ගියේ නෑ.

වරක් එතුමා මන්ත්‍රණ සභා ඡන්දයකට ඉදිරිපත් වුණා. අනෙක් පැත්තෙන් ඉදිරිපත් වුණේ ක්‍රිෂ්ණරත්න කියලා සිංහල මහත්මයෙක්. රජරට ජනතාව ඉස්සරහට ගිහිල්ලා ප්‍රීමන් දිසාපතිතුමා කිව්වේ එක දෙයයි. උඹලා කොළපාට පෙට්ටියට තුන්ඩු කෑලි දැම්මොත් ක්‍රිෂ්ණරත්න කවුන්සලේට යනවා. මං එංගලන්තයට යනවා. උඹලා සුදුපාට පෙට්ටියට තුන්ඩු කෑලි දැම්මොත් මම උඹලා වෙනුවෙන් කවුන්සලේට යනවා.

අන්තිමේදී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ රජරට ජනතාව නියෝජනය කරන්න ඔවුන් තෝරා ගත්තේ මේ සුදු ජාතික දිසාපතිවරයා. ඔහු ජීවත් වුණෙත් මිය ගියෙත් රජරට. ඔහු මිය යන්න මොහොතකට පෙර කියා තිබුණේ රජරට පොළොවේ කැටයම් කරපු ගල් කුළුණක් වෙන්න ලැබෙනවා නම් මගේ ප්‍රාර්ථනාව ඒකයි කියලයි.

අදත් අනුරාධපුර කච්චේරියේ දැවැන්ත වනස්පතිය සෙවණේ තියෙන ස්මාරකය හැමදාමත් අපට රජරට ජනතාවට පෙම්බැඳී මේ අපූරු රාජ්‍ය සේවකයා සිහිපත් කර දෙනවා.

ඒ වගේම තමයි බදුල්ලේ දිසාපතිව හිටපු පිහිල්ලේ ගෙදර මැතිතුමා. එතුමා හදිසියේ මියගිය දවසේ මා හිටියේ බදුල්ලේ. උදෑසන අවදි වී බලන විට හැම තැනම මා දුටුවේ සුදු කොඩි. පැල්පතේ ඉඳලා මන්දිරේ දක්වා සුදු කොඩියක් තිබුණා. සමහරු එදා වළඳක් ළිප තියලත් නැහැ.

ජනතාවට අවංකව සේවය කළොත් ජනතා හදවත්වල ඔවුන් හැමදාම ජීවත් වෙනවා. අවසාන වශයෙන් මා කියන්න කැමැතියි ලැබූ නව වසර ඔබේ රාජකාරි ජීවිතයේ සාර්ථකම වසර කර ගන්න උත්සාහ කරන්න. තමන්ගේ වෘත්තිය නිපුණතා වැඩිදියුණු කරගෙන ඒ තුළින් ඔය සිටින තැනින් තව පියවරක් ඉදිරියට යන්න. නව දැනුම, පුහුණුව දක්ෂතා ජනතා සේවය සඳහා යොදවන්න. රටට ආදරය කරන්න. ජනතාවට ආදරය කරන්න. ජනතාවගේ ආදරය ලබන්න.

(උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර කරුණාරත්න දිවුල්ගනේ 2013.01.01 වැනි දින රාජකාරි අරඹන රාජ්‍ය සේවකයන් අමතා කළ දේශනය ඇසුරිණි)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා