ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරනවා

ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරනවා

ගෝල්ඩන් කී මූල්‍ය වංචාවට හසු වූ තැන්පත්කරුවන් සියලු දෙනාටම යුක්තිය ඉටු කිරීමට රජය කැපවෙන බව ඊයේ (11) ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සත්‍යග්‍රහය සිදුකළ භූමියට පැමිණි ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය. කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ හිටපු අගවිනිසුරු නිල නිවස ඉදිරිපිට ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සිව්දින සත්‍යග්‍රහය අවසන් කරන ලෙස ඉල්ලා එම ස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මැති ඇමැතිවරු සියලුම තැන්පත්කරුවන් හමුවේ ප්‍රකාශ කළේ කිසිවකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවය.

මෙහිදී ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරුන් වෙනුවෙන් කතා කළ ඇමැති අලුත්ගමගේ මහතා සඳහන් කළේ දෝෂාභියෝග තීන්දුව පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් හෘද සාක්ෂියට එකඟව ජන්දය ලබා දුන් නිසා ජයග්‍රහණය කළ බවයි.

දෝෂාභියෝග ඡන්ද විමසුමෙන් පසු සත්‍යග්‍රහය පැවති ස්ථානයට රෝහිත අබේගුණවර්ධන, ලසන්ත අලගියවන්න, ඩිලාන් පෙරේරා, අනුර පි‍්‍රයදර්ශන යාපා යන අමාත්‍යවරුන් හා තිලංග සුමතිපාල, අරුන්දික ප්‍රනාන්දු යන මන්ත්‍රීවරු ද පැමිණියහ.

මෙහිදී රතිඤ්ඤා පත්තු කර පී‍්‍රති ඝෝෂා පැවැත් වූ තැන්පත්කරුවෝ කිරිබත්, කැවුම් මේසයක් විවෘත කරමින් එකිනෙකා අතර සතුට බෙදාගනු දක්නට ලැබුණි.

මෙහිදී තැන්පත්කරුවන් විසින් ඉදිරියටත් තමන්ට සාධාරණයක් ඉෂ්ට කරන ලෙස ඉල්ලා ජනාධිපතිතුමාට ලිපියක් බාරදුන් අතර, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ද කතා කළේය.

සත්‍යග්‍රහය අවසන් දිනයේ දී පොලිසියේ විශාල පිරිසක් එම ස්ථානයේ රැඳී සිටිමින් ආරක්ෂාව ලබාදුන් අතර මේ අවස්ථාව ආවරණය කිරීම සඳහා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජිතයෝ රැසක් පැමිණ සිටියහ.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා