අභ්‍යාසලාභී උපාධිධාරීන් 50,800කට ස්ථිර රැකියා ජාතික මහෝත්සවය අද

අභ්‍යාසලාභී උපාධිධාරීන් 50,800කට ස්ථිර රැකියා ජාතික මහෝත්සවය අද

රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් පනස්දහස් අටසිය දෙනාට ස්ථිර රැකියා ලබාදීමේ ජාතික මහෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී අද (12) උදේ 9.00ට ආරම්භ කෙරේ.

මෙම පිරිසට ස්ථිර රැකියා හිමි කිරීම සංකේතවත් කිරීමේ උත්සවය අප රටේ බුද්ධිමතුන්ගේ දැවැන්තම සමුළුව ලෙස ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙන බව විදුලි සංදේශ සහ තොරතුරු තාක්‍ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කෙළේය. කොළඹ 03, කොල්ලුපිිටිය පස්වන පටුමගේ පිහිටි විදුලි සංදේශ සහ තොරතුරු තාක්‍ෂණ අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව පැවැසීය.

”වසර ගණනාවක් උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දීම ගැටලුවක් වුණා. ජනාධිපතිතුමා මේ ගැටලුවට විසඳුමක් ලෙස උපාධිධාරින් 50842 කට රැකියා ලබා දුන්නා. ඔවුන්ට පුහුණු කාලසීමාවක් ලෙස වසරක කාලයක් ලබා දී තිබුණා. මේ අවුරුද්දක කාලය ගතවීමට මත්තෙන් සෑම උපාධිධාරියකුට ම තමන් කැමති ප්‍රදේශයක, තමන්ගේ උපාධියට ගැලැපෙන ස්ථිර රැකියාවක් ලබා දෙනවා” අපි තමයි අලුතින් බඳවා ගත් උපාධිධාරින්ට රැකියා ස්ථිර කිරීමට, උසස්වීම්, මාරුවීම් ලබාදීමට රාජ්‍ය පරිපාලන සේවා විභාගයට පෙනී සිටීමට අවශ්‍ය ඉඩකඩ සලසා දෙන රැකියා ව්‍යවස්ථාවක් සම්පාදනය කළ ආණ්ඩුව යැයි ද ඇමැතිවරයා සඳහන් කෙළේ ය. දැනටමත් උපාධිධාරින් 51000ක නිශ්චිත රැකියා පුරප්පාඩු තිබෙනවා. අපි ඒවා සියල්ල පුරවනවා යැයි සියඹලාපිටිය මහතා කීය.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා - උපාධිධාරින් ලෙස රාජ්‍ය සේවයට එක්වූවෝ ස්ථිර සේවයට “අබිසෙස්” ලැබීම හෙට සිදුවනවා. මේ ජාතික වැදගත්කමකින් යුතු අවස්ථාව රටේ බුද්ධිමත් ප්‍රජාවට ඉතා ම ඉහළ පිළිගැනීමක් හිමි කිරීමක් ලෙස හැඳින්විය හැකියි.

ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ නොවන්නට මේ අන්දමට උපාධිධාරින්ට රජයේ ස්ථිර රැකියා තොග වශයෙන් නොලැබී යෑමටත් ඉඩ තිබුණා යැයි ඇමැතිවරයා කීය. ඇමැතිවරයා මේ අදහස් පළ කළේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පැවැති නිලධාරි හමුව අමතමිනි.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා