කොටකිඹුලාකඩ මහ අමුණ පිළිසකර කළ සැණින් ගංවතුරට බිලි

කොටකිඹුලාකඩ මහ අමුණ පිළිසකර කළ සැණින් ගංවතුරට බිලි

ශ්‍රී පුෂ්පාරාමාධිපති හේනේගෙදර හේමසිරි හිමිපාණන්

පඬුවස්නුවර විශාලතම කොටකිඹුලාකඩ මහ අමුණ කැඩී වසර අටකට පමණ පසුව රුපියල් ලක්‍ෂ 50ක වියදමින් 2012 වසර අගදී ප්‍රතිසංස්කරණය කර අවසන් වූවා පමණි.

පසුගියදා ඇතිවූ මහා ජල ගැලීමත් සමඟ අමුණේ මහ බැම්ම ඉතිරි කොටස රූස්ස ගස්කොළන් උදුරාගන මහ ජල කඳ බැසගියේ ගම් ගෙවල් යටකරමින් මහා විනාශයක් සිදුකරමිනි.

2005 වසරේ නොවැම්බර් මාසයේ ඇතිවූ මහා ගංවතුර සමඟ බැම්ම කැඩී අඩි 20ක් පමණ විශාල වළක් සහිතව විශාල විනාශයක් විය.

කුඹුරු යායෙන් කොටසක් පස් කඳුවලින් යටවී තිබිණි. අක්කර 500ක පමණ වී වගාව සඳහා ජලය සපයන මේ අමුණ දැදුරුඔය ජලාස යෝජනා ක්‍රමය යටතේ මිලියන (05) පහක් පමණ වියදම් කර විශේෂ ව්‍යාපෘතියක් ලෙසට ප්‍රතිසංස්කරණය කර අවසන් වූයේ 2012 වසර අගදීය.

කුඹුරු පස්වලින් යටවී ඇති අයුරු.

අක්කර 500ට ම ජලය ලබාදිය හැකි අන්දමට ඉතා සාර්ථකව අමුණ ඉදිකරදෙන ලදී.

එහෙත් පසුගියදා ඇතිවූ මහා ජලගැල්මත් සමඟ අමුණේ ඉතිරි කොටස කඩාගෙන යන ලදී. නැවතත් කුඹුරු වැලි කඳුවලින් යටවී ඇත. බැම්මේ තිබූ විශාල ගස් ඉදිරී ගසාගන ගොස් ඇත.

මේ අමුණ කැඩීයාම පිළිබඳ අදහස් දැක්වූ මල්වානේගෙදර ශ්‍රී පුෂ්පාරාමාධිපති විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රවේදී පණ්ඩිත හේනේගෙදර හේමසිරි නාහිමියන්- පඬුවස්නුවර ප්‍රධාන වාරි ඇළ දෙකක් තියෙනවා.

එකක් කොළමුණුඔය, අනික නම් මේ බුජ්ගමුව ඔය. බුජ්ගමුව ඔය යටතේ තිබෙන ප්‍රධාන අමුණ තමයි මේ කොටකිඹුලාකඩ මහ අමුණ.

ගස් ගසාගන ගොස් ඇති අයුරු

මේ යටතේ පෝෂණය වන අමුණු පහක් තියෙනවා. ඒ සියලු අමුණුවලට ජලය දෙන්නේ මේ අමුණෙන්. අමුහේන අමුණ, මළඇළ අමුණ, කොස්ගහමුලඅමුණ, ගලගාව අමුණ සහ මූණමල්දෙනිය පහළ අමුණ ඒ අමුණ පහයි.

පඬුවස්නුවර කොටකිඹුලකඩ මහඅමුණ බැම්ම කැඩී ජලය ගලායන අයුරු.

මේ යටතේ අක්කර 500ක් පමණ වී වගා කරනවා. මේ අමුණේ රැදෙන ජලය කි. මී. 3ක් දුර කුඹුරුවලට ජලය සපයනවා.

කුලියාපිටිය - මූණමල්දෙණිය ප්‍රධාන මාර්ගයෙන් පහළ කොටසටත් ජලය සපයනවා. කන්න 14ක් එකදිගට තමන්ගේ කුඹුරුවලින් ගන්න බැරිව සිටි මිනිස්සු 2012 - 2013 මාස්කන්නයේ කුඹුරු වගා කරන්න සූදානම් වෙලා කුඹුරු සකස් කරමින් හිටියේ.

මේ අමුණ හදල ඉවරයි. ජලය රඳවාගන්න පුළුවන් නිසා සන්තෝෂයෙන් තමයි හිටියේ.

එහෙත් එම සතුට ටික දවසයි තිබුණේ. පසුගියදා ඇතිවූ ජල ගැලීම නිසා බැම්ම ප්‍ර‍්‍රතිසංස්කරණය නොකළ කොටස කඩාගන ගියා. බැම්මේ තිබූ විශාල ගස් ඉදිරී ජල පාරට ගසාගන ගියා.

අක්කර තිහ හතළිහක් වැල්ලෙන් යටවෙලා. පළාත් පාලන පළාත් සභා නියෝජ්‍ය ඇමති ඉන්දික බණ්ඩාරනායක මහතා තමයි මේ අමුණ හදන්න මුදල් ලබාදී තිබුණේ.

මේ දුප්පත් මිනිස්සු ගැන හිතල නැවත අමුණ හදාදෙන්න කියලා තමයි ඉල්ලන්නේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා