පාකිස්තානයේ බෝම්බ පිපිරීම් තුනකින් 114ක් මරුට

පාකිස්තානයේ බෝම්බ පිපිරීම් තුනකින් 114ක් මරුට

පාකිස්තාන‍යේ බලුකිස්තාන ප්‍රාන්ත අගනුවර වන කුවෙට්ටාහි මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකු පෙරේදා එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 81දෙනකු ජිවිතක්ෂයට පත්ව තිබේ. මෙහිදී 121දෙනකු තුවාල ලබා ඇත.

නගරයේ ෂියා මුස්ලිම්වරුන් නිතර ගැවසෙන ස්නූකර් ක්‍රීඩා සමාජ ශාලාවක් ඉලක්ක කරගනිමින් මේ ප්‍රහාර එල්ල කර තිබේ. මේ සමාජ ශාලාව නිතර විනෝදකාමීන්ගෙන් පිරී ඉතිරී පවතින්නක් බව පොලිසිය පවසා තිබේ.

මෙය පාකිස්තානයේ මිලියන180ක ජනතාවගෙන් 20% ක් පමණ වන ෂියා මුස්ලිම් ප්‍රජාව එල්ල කරගනිමින් සිදුකරන ලද දරුණුම ප්‍රහාරවලින් එකක් ලෙස සැලකේ.

පෙරේදා ඇතිවූ ද්විත්ව බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ ඊට පැය කීපයකට කලින් නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයකදී ආරක්ෂක බළකා වාහනයක් ඉලක් කර පුපුරුවන ලද බෝම්බයකින් 11 දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබියදිය. ‍මේ අනුව පෙරේදා ‍බෝම්බ ප්‍රහාරවලින් ඝාතනය වූ මුළු සංඛ්‍යාව 92කි.

ස්නුකර් සමාජශාලා ප්‍රහාරයේදී පළමු වන මරාගෙන මැරෙන බෝම්බකරු ගොඩනැඟිල්ල තුළ සිය බෝම්බය පුපුරුවා ගත් අතර පොලිසිය, මාධ්‍යකරුවන් හා ගැලවුම් කණ්ඩායම් එහි පැමිණ සිටියදී ඉන් විනාඩි 10කට පසු ගොඩනැඟිල්ලෙන් පිටත මෝටර් රියක නැඟුණු මරාගෙන මැරෙන බෝම්බකරුවකු රථය පුපුරුවා ඇත. මෙහිදී 81 දෙනකු මිය ගිය අතර එම සංඛ්‍යාව ඉහළ යා හැකි බව පැවැසේ.

මෙහිදී ඝාතනය වූවන් අතර පොලීසියේ නව දෙනකු, රූපවාහිනි කැමරා ශිල්පියකු හා ගැලවුම් සේවකයන් කීපදෙනකු සිටින බවත් වාර්තා වේ.

බෝම්බ ප්‍රහාරයෙන් සාප්පු කීපයක් හා යාබද ගොඩනැඟිලි කීපයකට හානි සිදුව ඇති අතර ගිලන් රථ සේවාවකට අයත් වාහන 4ක් ද විනාශ වී ඇත. පිපිරුම් ස්ථානයේ වින්දිතයන්ට අයත් දේවල් විසිරී තිබිණ.

ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන ‍නැත. ප්‍රහාරයෙන් ප්‍රදේශයේ විදුලි බලය ද විසං ධිවී තිබුණෙන් ගැලවුම් කටයුතුවලට එය විශාල බාධාවක් වු බව පැවැසේ.

මීට පැය කීපයකට කලින් සිදුවු ප්‍රහාරයේදී ආරක්ෂක බළකායේ සිටි සෙබළකු හා වෙනත් පුද්ගලයන් 10 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම බෝම්බය වාහනයේ යට අටවා තිබී ඇති අතර එහි කිලෝ 20-25 අතර වන පුපුරන ද්‍රව්‍ය අඩංගුව තිබුණු බව ප්‍රකාශවෙයි. එය දුරස්ත පාලකයකින් සක්‍රීය කර තිබේ.

මේ අතර වයඹ දිග පාකිස්තානයේ ස්වැට් මිටියාවතේ පෙරේදා ඇතිවු පිපිරුමකින් පුද්ගලයන් 22 දෙදෙනකු ඝාතනය වී 80කට වැඩි ප්‍රමාණයක් තුවාල ලබා තිබු අතර එය ද බෝම්බ ප්‍රහාරයක ප්‍රතිඵලයක් බව බලධාරීහු ඊයේ ප්‍රකාශ කළහ.

පිපිරීම සිදුව තිබුණ් දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය වන මිනිගෝරා හි පැවැති ටැබ්ලීගි ජමාට් කණ්ඩායම් සති රැස්විමකදීය. මේ මිටියාවත තලේබාන් පාලනයෙන් මුදා ගත් පසු එහි ඇතිවූ දරුණුම පිපිරීම මෙය බව පැවැසේ.

මේ පිපිරුම බෝම්බයකින් ඇතිවූ බව පවසන බලධාරින් එය කිලෝ 5ක පමණ පුපුරන ද්‍රව්‍ය අඩංගුවූවක් බව පවසා ඇත. මුලින් ප්‍රකාශ කර තිබුණේ මෙය ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් ඇතිවුවක් බවය. මෙය ත්‍රස්ත ක්‍රියාවක් බවත් දැන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් පැවැසේ.

මෙහිදී තුවාල ලත් සංඛ්‍යාව 87ක් බවත් ඉන් බහුතරයකගේ තත්ත්වය බරපතළ බවත් පොලීසිය පවසා තිබේ. මේ මධ්‍යස්ථානයේ පැවැති පූජක දේශනයකට 1500ක පමණ පිරිසක් සවන් දෙමින් සිටියදී පිපිරීම ‍හටගෙන තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා