නව අගවිනිසුරුතුමනි

නව අගවිනිසුරුතුමනි

රටට අයහපත් කැරැල්ලක් නිමාවට පත්විය. ඒ පසුපස සිටි රාජ්‍ය නොවන සංවිධාන හා විදේශීය බලවේග ද පරාජයට පත්වූහ. රට අරාජික කිරීම සඳහා නොයෙක් උපායමාර්ග යෙදූ දේශපාලකයෝ ද පරාජයට පත්වූහ. අත්තනෝමතික ලෙස කටයුතු කළ හිටපු අගවිනිසුරුතුමිය ද පරාජයට පත් විය.

දැන් එම සිදුවීම් මාලාව ඉතිහාසයට පමණක් සීමාවිය යුතු වුව; සුළු පිරිසක් ගැටුම යළි ස්ථාපනය කිරීමට ප්‍රයත්න දරති. ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වටා සිටි නීතිඥ එකතුව නව පත්වීමට එරෙහිව නඩු මාර්ගයට පිවිසෙන බව කියා තිබේ. එහෙත් එය ගණන් ගත යුතු නොවේ.

ජනාධිපති නීතිඥවරයකු හා හිටපු නීතිපතිවරයකු ද වන මොහාන් පීරිස් මහතා නව අගවිනිසුරු ලෙස පත් කර තිබේ. ජනාධිපතිවරයා මේ පත්වීම කළේ ව්‍යවස්ථාවට අනුකූල ලෙස එතුමාට පැවරී ඇති බලතල අනුවය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ පත්වීම් නැවත අභියෝගයට ලක් කළ නොහැකි වේ. ඒ අනුව අගවිනිසුරු පදවිය පිළිබඳ අලුත් ආරවුලක් ඇතිවීමට ඉඩක් නැත. එහෙත් නව අගවිනිසුරු වෙත බරපතළ වගකීම් කිහිපයක් පැවැරී ඇති බව ඉතා පැහැදිලිය.

අගවිනිසුරු යනු රටේ හතරවන පුරවැසියා යැයි කියනු ලැබේ. මේ පදවිය රාජ්‍ය සේවාවට අයත් වුව පැවැරී ඇති වගකීම් බරපතළය. රටේ නීතිය පවත්වාගෙන යෑමටත්, විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර සමපාතීබවක් ඇති කිරීමටත් අගවිනිසුරුවරයා කටයුතු කළ යුතු වේ. එහෙත් හිටපු අගවිනිසුරුතුමිය මේ තත්ත්වයන් පටලවාගෙන සීමාව ඉක්මවා ගමන් කළ බවක් පෙනෙන්නට තිබේ. ශිරාණි බණ්ඩාරනායක මහත්මිය යටතේ උසාවිය දේශපාලන රඟමඩලක් බවට පත්විය. සමහර නීතිඥයෝ රජයට එරෙහිව කළු කොඩි දැමූහ. තවත් සමහරු පොල් ගැසූහ. පෙළපාළි ගියහ. ගුටි ඇනගත්හ.

මෙලෙස පරිහානියට ගිය අධිකරණය යළිඳු ගෞරවණීය ස්ථානයක් බවට පරිවර්තනය කළ යුතු වේ. ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර පැවැති ගැටුම සමනය කළ යුතුවේ. අනෙක් අතට අගවිනිසුරුවරයා නීතිගරුක ආදර්ශවත් පුද්ගලයකු විය යුතුවේ. තමනට එරෙහි නඩු තෙමේම විනිශ්චය කරන තැනකට අගවිනිසුරුවරයා නොයා යුතුය. අල්ලස් ගැනීම්වලින්, වරදාන ලැබීමෙන් ඔහු දුරස් විය යුතුය. නිවැරැදි තීන්දු ගනිමින් දූෂ්‍ය නොවී සිටියහොත් ඔහුට ;බාහෝ කාලයක් තම රාජකාරි කළ හැකි වනු ඇත.

හිටපු අගවිනිසුරුතුමිය ක්‍රියා කළ ආකාරයට අනුව පාඩම් ගණනාවක් උගත හැකිය. පළමුවන්න තම පදවියේ සීමාවන් දැන ගැනීමය. දෙවන්න රටේ ඉහළ නිලයක් දරන කෙනකු ලෙස රටට හා ජාතියට වගකීම් ඉටු කිරීමය. තෙවන්න අගවිනිසුරු පදවිය දේශපාලනීකරණයට ලක් නො කොට කටයුතු කිරීමය.

හතරවන්න රැවටිලිකාර මතවලට හසු නො වී අවංක ලෙසත් ඍජු ලෙසත් කටයුතු කිරීමය. ශිරාණි බණ්ඩාරනායක මහත්මිය මේ සියල්ල කණපිට පෙරළමින් රටේ නායකයාට ද අභියෝග කරන තැනකට ගියේය. ඇය එසේ කළේ තමන් අත ද වැරැදි තබාගෙනය. ඒවා බරපතළ වැරැදි ලෙස සැලකේ.

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ගෙදර ගියේ ඉතිහාසයට තවත් අවලස්සන නමක් එකතු කරමින්ය. ශ්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසය තුළ දෝෂාභියෝග ක්‍රියාවලියකින් සේවයෙන් පහකරන ලද ප්‍රථම අගවිනිසුරුවරිය යන අපකීර්තිමත් නාමය දැන් එම මහත්මියට පටබැඳී තිබේ. ඒ පමණක් නොව එතුමිය වටා සිටි කැරැලිකරුවන් ද හෙමින් සීරුවේ මාරුවී ගොස් තිබේ.

ජනාධිපතිවරයා මට්ටු කිරීමට ගිය සරත් ෆොන්සේකාට සිදු වූයේ ද ඔය ටිකමය. සරත් ෆොන්සේකා අද සාමාන්‍ය පුරවැසියෙකි. ශිරාණි බණ්ඩාරනායක ද අද සාමාන්‍ය පුරවැසියෙකි.

හිටපු අගවිනිසුරුතුමිය ද ඇගේ සහචරයන් ද කරන ලද තර්ජනයක් තිබිණි. එනම්; දෝෂාභියෝග ක්‍රියාවලිය ඉදිරියට ගෙන ගොස් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පදවියෙන් ඉවත් කළහොත් ජනතාව පාරට බස්සවන බවය. ජනතාව පාරට බැස පෙළපාළි පැවැත්වූහ. උද්ඝෝෂණ ද කළහ.

එහෙත් එම පෙළපාළිවල ද, උද්ඝෝෂණවල ද සටන් පාඨය වූයේ දූෂිත අගවිනිසුරුවරිය ගෙදර යනු යන්නය. හිටපු අගවිනිසුරුතුමියට ද ඇගේ ගෝල බාලයන්ට ද මුල සිටම පාර වැරැදී තිබිණි. ඔවුන් සමඟ එක්වූයේ ද රටට අහිතකර ලෙස ක්‍රියාත්මක වන බලවේගයන්ය. එබැවින් තත්ත්වය වඩාත් නරක අතට හැරිණි.

රටට එරෙහි බලවේග හැමදා ම ක්‍රියාත්මක වේ. එය ඉතිහාසයේ ද සිදුවුණු අතර අනාගතයේ ද සිදුවනු ඇත. බුද්ධිමත් හා ශක්තිමත් පාලකයා ඒවා පරාජය කළ යුතුය. ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී එය පැහැදිලිව ම දකින්නට ලැබිණි.

ඊයේ අගවිනිසුරුතුමිය වටා සිටි එම පිරිස එදා ප්‍රභාකරන් වටා පෙළ ගැසුණහ. වැලිඅමුණ, පාක්‍යසෝති ඇතුළු අනෙකුත් එන්. ජී. ඕ. කාරයෝ අදත් බෙදුම්වාදයට සහාය දක්වති. වික්‍රමබාහු කරුණාරත්න වැනි පුද්ගලයෝ ද මේ රටේ ඒකීයභාවයට විරුද්ධව සටන් කරති. ඔවුන් පරාජයට පත් කළ යුතුය. එසේ නො වුණහොත් රටට අනාගතයක් නැත.

අගවිනිසුරුතුමිය ඇති කළ කැරැල්ල නිසා තවත් සිදුවීම් කිහිපයක් ද කරළියට පැමිණියේය. එකක් නම් ව්‍යවස්ථාව පිළිබඳ සංවාදයයි. අනෙක ජනතා පරමාධිපත්‍යය පිළිබඳ සංවාදයයි. තවත් වැදගත් සංවාදයක් වන්නේ අධිකරණය සතු බලතල මොනවා ද යන්නය.

ජනතාවට මේ පිළිබඳ පුළුල් දැනුමක් මේ සංවාද ඔස්සේ ලැබිණි. රටේ රාජ්‍ය පාලනය, නීතිය, නීතිය සකස් කිරීම ආදිය ගැන පුළුල් වැටහීමක් ද මේ ඔස්සේ ජනතාවට ලැබිණි. එය යහපත් ලක්ෂණයකි. හරි-වැරැදි, සත්‍යය-අසත්‍යය තෝරා ගැනීමේ මාර්ගයක් ඒ ඔස්සේ විවෘත වේ.

කෙසේ වුව මේ ගැටුම බුද්ධිමත් ලෙස ද නිත්‍යානුකූල ලෙස ද විසැඳීමට පියවරගත් ජනාධිපතිවරයාට ජාතියේ කෘතඥතාව හිමිවිය යුතුය. ඊළඟට නව අගවිනිසුරුවරයා සිය වගකීම් මනා ලෙස ඉටු කරමින් රටේ ඉදිරි ගමනට සහයෝගය ලබාදිය යුතුය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා