පාර්ලිමේන්තුව සර්වජන ඡන්දයේ ප්‍රතිමූර්තියයි

පාර්ලිමේන්තුව සර්වජන ඡන්දයේ ප්‍රතිමූර්තියයි

ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර

විෂමාචාර චෝදනාවලට ලක් වූ හිටපු අගවිනිසුරුතුමිය දෝෂාභියෝගයක් මඟින් ධුරයෙන් ඉවත්කිරීම, නව අගවිනිසුරුතුමා පත්කිරීම, දෝෂාභියෝග ක්‍රියාවලිය ආශ්‍රිතව දැකගත හැකි වූ තත්ත්වයක්. ඒවාට සම්බන්ධ බලවේගවල වුවමනාව වූයේ කුමක්ද වැනි කාරණා අරඹයා ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සමඟ කළ සංවාදයකි මේ.

දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසු හිටපු අගවිනිසුරුතුමිය ධුරයෙන් ඉවත් කිරීමත්, නව අගවිනිසුරුතුමා පත්කිරීමත් ජනාධිපතිතුමා සිදු කළා. අපි එතැනින් මේ සාකච්ඡාව පටන් ගනිමු...?

පාර්ලිමේන්තුව විසින් 2/3 ඡන්දයෙන් ගත් තීරණය අනුමත කරමින් ජනාධිපතිතුමා අගවිනිසුරුතුමිය ධුරයෙන් ඉවත් කළා. නව අගවිනිසුරුධුරය සඳහා ව්‍යවස්ථාදායක සභාවට නම් ඉදිරිපත් කිරීමෙන් පසු එම සාමාජිකයන්ගේ අදහස් - උදහස් සැලකිල්ලට ගනිමින් ජනාධිපතිතුමා විසින් නව අගවිනිසුරු පත්කිරීම සිදු කළා.

මේ පිළිබඳ විවිධ අයට විවිධ මතිමතාන්තර තිබිය හැකියි. හැබැයි මේක සිදුවෙන්නේ ව්‍යවස්ථානුකූලවයි. ඒ අනුව නිලවශයෙන් නියමානුකූලව මේ ක්‍රියාවලිය සිදුවුණා. ඒ ගැන ගැටලුවක් නෑ. නව අගවිනිසුරුතුමාගේ පත්වීමත් ව්‍යවස්ථානුකූලව සිදුකර තිබෙනවා.

හිටපු අගවිනිසුරුතුමියට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව සිදුවූ දෙයක්. එහිදී මේ පිළිබඳ යම් යම් ස්ථාවරයන් පළවුණා. බුද්ධිමය සංවාදයක් ඇතිවුණා යැයි කිව හැකිද?

මං දකින්නෙ ඉතා හොඳ බුද්ධිමය සංවාදයක් ඇති වුණා කියලා. මේ සම්බන්ධයෙන් අදාළ වූ නීතිය ව්‍යවස්ථාවයි. මේ නිසා බොහෝවිට සාමාන්‍ය මහජනතාවට දැනුවත්වීමේ සීමාවල් තියෙන බව තේරුම් ගන්න වෙනවා. නමුත්, ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණයේ බලතල කාර්යයන්, බලය බෙදීගොස් ඇති ආකාරය, කුමකට වඩා කුමක් ප්‍රධානද ආදී කාරණා ගැන මහජනතාව මෙහිදී පුළුල් අවබෝධයක් ලබාගත් බව මං සිතනවා. මීට පෙරදීට වඩා හොඳින් එය සිදුවුණා.

පාර්ලිමේන්තුව සතු පරමාධිපත්‍ය බලය පිළිබඳ නැවතත් තහවුරුවීම නිසා මේ පිළිබඳ විශ්වාසයක් ජනතාව තුළ තවත් වැඩිවූ බව කිව හැකියි.

මෙහිදී ඇතැම් නීතිඥයන් ප්‍රකට කළ හැසිරීම නීතිඥයකු හැටියට ඔබ කොහොමද දකින්නෙ?

අගවිනිසුරුතුමිය ධුරයෙන් ඉවත්කිරිම ව්‍යවස්ථාවට අනුව හා විය යුතු පරිදිම සිදුවුණා. අවසන් තීන්දුව ගනු ලැබුවේ ජනාධිපතිතුමා විසින්. මේ ක්‍රියාවලිය වැරැදි බව කාටවත් කියන්න බෑ. මේක නීතියට විරුද්ධව වුණා නම් නීතිය ක්‍රියාත්මක කරන අංශවලට එය ප්‍රශ්න කරන්න පුළුවන්. හැබැයි, මෙය නීතියට අනුව සිදුවුණා. මේ ආයතන සම්බන්ධයෙන් අදාළ නීතිය කුමක්ද? පාර්ලිමේන්තුව තමයි නීතිය.

දෙවනුව, මේ කාරණය ක්‍රියාත්මක වශයෙන් තහවුරු වුණා. පාර්ලිමේන්තුව සතු බලය පිළිබඳ කාට හරි විචිකිච්ඡාවක් තිබුණා නම්, දැන් ඒක අයින් කරගන්න පුළුවන්. ජනතාව තුළත් මේ පිළිබඳ අවබෝධය පුළුල් වුණා කියල මං හිතනවා. පාර්ලිමේන්තුව තමයි සර්වජන ඡන්දයේ ප්‍රතිමූර්තිය. පාර්ලිමේන්තුවේ විහිළුකාරයො, මදාවියො, දුශ්චරිත ඇති අය ඉන්න පුළුවන්. හැබැයි අතරින් පතර එහෙම ප්‍රශ්නගත චරිත හිටියයි කියලා ජනතා පරමාධිපත්‍ය නියෝජනය වන පාර්ලිමේන්තුව සතු බලය හෑල්ලුවෙන්නෙ නැහැ.

සමහර නීතිඥයන්ටත්, එන්.ජී.ඕ. වලටත් මේ පාර්ලිමේන්තු බලය බාල්දු කිරීමේ වුවමනාවක් තිබුණා. පාර්ලිමේන්තුව සතු පරමාධිපත්‍ය බලය හෑල්ලුවට ලක්කිරීමට ඔවුන්ට ඕනෑ වූ බව පැහැදිලිව පෙනුණා. පාර්ලිමේන්තුවේ සිටින චරිත නෙවෙයි මෙතැනදී අදාළ වෙන්නෙ, එය ජනතා පරමාධිපත්‍ය නියෝජනය වන තැන වීමයි. තමන්ට අභිමත පරිදි බලය අර්ථකථනය කර ගැනීමේ හැකියාවක් නෑ. මොකද, ඒ බලය හා බලතල පිළිබඳ ව්‍යවස්ථාවේම සඳහන් වෙනවා.

සමහර නීතිඥයන් කල්පනා කළා අධිකරණය සතුව තමයි පරම බලය තියෙන්නෙ, අපි තමයි ප්‍රධාන කියලා. කැමැති කැමැති විදිහට මේක නිර්වචනය කරන්න හිතුවක්කාරී අන්දමින් ක්‍රියාකරන්න කාටවත් හැකියාවක් නෑ.

අපි අමතක නොකළ යුතුයි, ජනතා පරමාධිපත්‍ය නියෝජනය වෙන්නෙ කොතැනද කියන කාරණය. හැබැයි ඒක නොතකා හැරල, තමන් තමයි බලවත් කියල හිතාගෙන කටයුතු කළ අයත් එක්ක එන්. ජී. ඕ. නියෝජනය කරන අය, ආණ්ඩු විරෝධී අය වගේ නොයෙක් පිරිස් රංචු ගැසුණා. දේශීය වශයෙන් වගේම ජාත්‍යන්තරවත් ආණ්ඩුවට එරෙහිව බලපෑම් ඇති කිරීමට ඔවුන් ක්‍රියා කළේ ආණ්ඩු විරෝධය මතයි.

හිටපු අගවිනිසුරුතුමිය ක්‍රියා කළේත් සාමාන්‍ය ක්‍රියාදාමයෙන් බැහැරවයි. විමර්ශනයට මුහුණදීම සඳහා ඇය පාර්ලිමේන්තුවට ආවේ මහජන පිවිසුමෙන්. අධිකරණයෙන් එනකොට එතැනට රැස්ව සිටි අය සටන්පාඨ එහෙම කියල, පොල් ගහලා, පිරිත් නූල් බැඳලා, ආවේ. මේක දේශපාලන ගැටුමක් වෙලයි තිබුණේ.

අගවිනිසුරු ධුරය වගේ උතුම් තනතුරකට නොගැළපෙන අන්දමේ භාවිතාවක් තමයි ඇයගෙන් පළ වුණේ. මේවා දකින මහජනයා තුළ මේ වගේ තනතුරක් දරන අයෙක් දේශපාලනය හා සම්බන්ධ වෙන්නෙ නෑ කියන පිළිගැනීම වෙනස් වුණා. එවිට ඔවුන් අධිකරණය ගැන පවා කලකිරෙන තත්ත්වයක් ඇති ‍ෙවනවා.

සාමාන්‍යයෙන් මෙවැනි ක්‍රියාවලියක් ජනතාවගෙන් දුරස්තයි. ඇත්තටම ඔවුන්ට මේ නීතිමය ක්‍රියාවලිය එතරම් අදාළ නෑ. නමුත්, මෙවර මෙය ප්‍රමුඛ ප්‍රශ්නයක් ලෙස වඩාත් ඉස්මතු කෙරුණා නේද?

මෙහෙමයි, සාමාන්‍ය ජනතාවට අගවිනිසුරු කවුද, ඉවත් කරන්නේ කොහොමද වගේ කාරණා එතරම් සමීප නෑ. නමුත්, මේකෙන් වුණේ මෙවැනි ගෞරවනීය තනතුරු දරන අය අතර වුණත් වැරැදි කරන අය සිටින බව ජනතාව දැනගැනීමයි. ඉතාම ඉහළ ධුර දැරුවත් නීතිවිරෝධී වැඩකරන සදාචාරයට පටහැනිව යන අය සිටින බව මේකෙන් හෙළි දරව් වුණා.

වත්කම් - බැරකම් නිසියාකාරව ප්‍රකාශ නොකිරීම, තමන්ට සම්බන්ධ නඩුවක් තිබියදීත් ධුරය දැරීම වගේ සාමාන්‍ය මට්ටමේ ජනතාව වුනත් වැරැදි ලෙස තේරුම් ගන්නා විෂමාචාරයන් ඇයගෙන් සිදුවී තිබුණා. ඒ නිසා මේ හෙළිදරව් වීම මෙවැනි ඉහළ නතුරු දරන අය සම්බන්ධයෙන් ඉදිරියට වුණත් පාඩමක් වේ යැයි සිතන්න පුළුවන්.

අනෙක තමයි මහජන මතය පාර්ලිමේන්තුවෙ පිළිබිඹුවීම පිළිබඳ කාරණය. මේකෙදි තමන්ට ඇති බලය පිළිබඳ ජනතාව හොඳින් දැනුවත් වුණා. ඔබ ඔය අහන ඉස්මතු කිරීම නම් සිදුවුණේ ජනමාධ්‍ය අතින්. ඕනෑවටත් වඩා ලොකු ප්‍රසිද්ධියක් මේකට දුන්නා හරියට සුනාමියක් වගේ මේ ගැන සාකච්ඡා කළා. ලෝකය විනාශවෙන්න යනවා වගේ තමයි මාධ්‍ය මේක ජනතාවට ගෙන ගියේ. ඒ නිසා ඔය ඉස්මතු කිරීම මාධ්‍ය විසින් කළ දෙයක්.

මේ පිටුපස ක්‍රියාත්මක වූ බලවේගවල ප්‍රමුඛ වුවමනාවක් බවට රටේ ප්‍රගතිය අවුරාලීම පත්වී තිබුණා.?

මේකට අනවශ්‍ය බර තැබීමක් කිරීමෙන් වුණේ රටේ ප්‍රගතියට එරෙහිව ක්‍රියාකරන බලවේග වලට රුකුල් දීමක්. රටේ සාමාන්‍ය පරිපාලනය, සංවර්ධන කටයුතු ආදිය සාමාන්‍ය පරිදි සිදුවෙමින් තිබියදී තමයි මේක ඉස්මතු කෙරුණේ. දෙස් - විදෙස් ආණ්ඩු විරෝධී බලවේග මේක පාවිච්චි කළේ ආණ්ඩුව කෙරෙහි වෛරයෙන් ද්වේෂයෙන් ඔවුන්ට ඕනෑ කළේ තමන්ගේ න්‍යාය පත්‍රය ඉදිරියට ගන්න. රටේ ප්‍රධාන ප්‍රශ්නය මේක නොවුණත් ඒක එහෙම තමයි කියල ඔවුන් රටට ලෝකෙට පෙන්නුවේ.

මාධ්‍යවල හැසිරීම නිසා ජනතාවටත් ඇතැම්විට එහෙම හිතුණා වෙන්න පුළුවන්. ආණ්ඩු විරෝධින්ට ඕනෑ කළේ මේක විශාල ප්‍රශ්නයක් හැටියට ජන මතයේ ආරෝපණය කරලා, ජනතා නැඟිටීමක් සඳහා පෙළඹවීමක් ඇති කිරීමටයි. ජනමාධ්‍යවලත් ඇතැම් අය ඒ පෙලඹවීම ඇතිකරන අන්දමට ලිව්වා -කිව්වා - හැබැයි, එවැනි පෙළඹවීමක් ඇතිකරන්න ඔවුන්ට බැරිවුණා.

පොලඹවාගන්න පුළුවන් වුණේ හැමදාම මේ වගේ දේවල්වලට යොමු කරගන්න ජේ. වී. පී., යූ. එන්. පී. අනුගාමිකයො ටිකක් විතරයි. ඔබලාට මේ ගැන උනන්දුවක් තිබුණාට අපට එවැන්නක් නෑ කියලා ජනතාව පෙන්නුවා. උනන්දුව තිබුණ අයට ඒ උනන්දුව මොකටද කියල තේරුම්ගන්න පුළුවන් බුද්ධියක් ජනතාවට තිබෙනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා