සංචාරක ව්‍යාපාරය නංවන්න ඉතාලියෙන් රු. මිලියන 800ක්

සංචාරක ව්‍යාපාරය නංවන්න ඉතාලියෙන් රු. මිලියන 800ක්

මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට සහාය වෙමින් සංචාරක මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 800 ක (අමෙරිකානු ඩොලර් මිලියන 6 ක) මුදලක් ආයෝජනය කිරීමට ඉතාලි රජය කැමැත්ත පළකර ඇත.

සුන්දර රටක් මෙන්ම සංචාරකයින් සඳහා හිතකර වාතාවරණයක් යටතේ පහසුකම් උසස් මට්ටමක පවතින බවද ඒ නිසාම ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් සහයෝගය දක්වන බවද ඉතාලියේ දකුණු ටිරෝල්හි බොල්සානෝ ප්‍රාන්තයේ ප්‍රධානී ආචාර්ය ලුයිස් වර්න්වෝල්ඩර් මහතා පවසයි.

ඒ මහතා මේ බව අනාවරණය කළේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හමුවී පැවැති සාකච්ඡාවේදීය. ආයෝජන සිදුකිරීමට අවශ්‍ය පහසුකම් නිරීක්ෂණය සඳහා ශ්‍රී ලංකාවට පැමිණි එම ප්‍රාන්ත ප්‍රධානියා ප්‍රමුඛ දූත පිරිස ආයෝජනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින අවස්ථාවන් පිළිබඳව ඇමැතිවරයා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකාව ඉතා කුඩා රටක් වුවද සංචාරකයින් වෙනුවෙන් අවශ්‍ය සෑම පහසුකමක්ම තිබෙන බවද රටේ මාර්ග පද්ධතිය මෙන්ම යටිතල පහසුකම් සැපයීම සඳහා රජය කටයුතු කිරීම ජාත්‍යන්තර ප්‍රජාවගේ සතුටට හේතුවන බවද ඉතාලියේ දකුණු ටිරෝල්හි බොල්සානෝ ප්‍රාන්තයේ ප්‍රධානී ආචාර්ය ලුයිස් වර්න්වෝල්ඩර් මහතා මෙහිදී සඳහන් කළේය.

මෙවැනි සංචාරක මධ්‍යස්ථානයක් හරහා එම කර්මාන්තය දියුණු කිරීමට හැකි අතර එමඟින් දේශීය මෙන්ම විදේශීය ශිෂ්‍යයන්ට පහසුකම් සැළසෙන බව සඳහන් කළ ඒ මහතා මෙවැනි මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා හිතකර ප්‍රදේශයක් තෝරාගැනීම සඳහා මෙරට ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කළ බවද පැවසීය.

සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අධ්‍යයනයන් සිදුකරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නව පුහුණු පාඨමාලාවන් හඳුන්වාදිය යුතු බවද සංචාරකයින් වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම්, ආහාර, නවාතැන් මෙන්ම ආරක්ෂාව සැපයීම සඳහා රජය මැදිහත්ව කටයුතු කරන බවද ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ආරම්භ කර තිබෙන සංවර්ධන ක්‍රියාවලිය මෙන්ම දිළිඳුකම තුරන් කිරීම සඳහා ගෙනයන පියවර සම්බන්ධයෙන්ද මෙහිදී ඇමැතිවරයා දීර්ඝ වශයෙන් කරුණු දැක්වීය.

සංචාරකයින්ට මෙන්ම ආයෝජකයින්ට අවශ්‍ය ස්ථාන වෙත ඉතා පහසුවෙන් ළඟාවිය හැකි පරිදි මෙරට මාර්ග පද්ධතිය සංවර්ධනය කර තිබෙන බව සඳහන් කළ ඇමැතිවරයා මේ වනවිට උතුරු අධි‍වේගී මාර්ගය මෙන්ම කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ඉදිවෙමින් තිබෙන බවද පෙන්වා දුන්නේය.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ විදුලි නිපදවීම සඳහා වැඩි වශයෙන් ජලය යොදා ගන්නා බවත් සූර්යාලෝකයෙන් හා ජීව වායුව යොදා ගනිමින් විදුලිය නිපදවා ගැනීමට ඉදිරියේදී විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කරන බවත්ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා