ඉංගිරිය නම්බපාන රබර් කම්හලකින් ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට දැඩි තර්ජන

ඉංගිරිය නම්බපාන රබර් කම්හලකින් ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට දැඩි තර්ජන

කර්මාන්ත ශාලාවෙන් නිකුත් වන කළු කුඩු බිත්තිවල බැඳී ඇති ආකාරය පෙන්වන නිවැසියෙක්.

තම නිවෙස් වලට ආසන්නයේ ඇති රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නිසා වසර ගණනාවක් තිස්සේ ඉමහත් දුෂ්කරතාවන්ට , රෝගාබාධ වලට මුහුණ දෙමින් දිවි ගෙවන ගම්වැසියන් සමූහයක් ගැන ඉංගිරියට නුදුරු නම්බපාන ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ඉංගිරිය – රත්නපුර ප්‍රධාන මාර්ගයට යාබදව නම්බපාන ප්‍රදේශයේ මෙම රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාව පිහිටා ඇති අතර, ඉන් නිකුත් වන කාබන් මිශ්‍ර දුහුවිලි අංශු විශේෂයක් නිසා තම නිවෙස් වල විසීමටවත් බැරි තත්ත්වයක් ඔවුන්ට උදාවී තිබේ.

මෙම ගැටලුව සම්බන්ධයෙන් මීට වසර දෙකකට පමණ ඉහත සිට බලධාරීන් දැනුවත් කළද මේ වනතෙක්ම කිසිදු සුබවාදී ප්‍රතිචාරයක් ලැබී නැතිබව ඔවුහු පවසති.

මෙම ගැටලුව සම්බන්ධයෙන්, එම කර්මාන්ත ශාලාව ඉදිරිපිටම නිවසක පදිංචි රත්නසිරි පීරිස් මහතා මෙසේ පැවසුවේය.

“ගෙවල් වල බිම, බිත්තිවල, සියලු භාණ්ඩ සහ උපකරණවල, මේ හැමතැනම කළු කුඩු දවස ගානෙම අපිට ගෙවල් හෝදන්න වෙලා. අපි හුස්ම ගන්න වාරයක් වාරයක් පාසා මේ කළු කුඩු අපේ ශරීර ගත වෙනවා. දැන් අපිට මේ ගෙවල් අත්හැරලා යන්න තරම් තත්වයක් උදාවෙලයි තියෙන්නේ.

එම කර්මාන්ත ශාලාවට යාබද නිවසක පදිංචි යූ. තිලකරත්න මහතා අදහස් දක්වමින්.

“2010 වසරේ ඉඳලා අපි මේ පිළිබඳව කියන්න තියෙන හැම බලධාරියකුටම කිවුවා. 2010/03/13 දාතමින් මේ පිළිබඳ බත්තරමුල්ල පරිසර අධිකාරියටත්, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් පරිසර නිලධාරීන්ටත් ඇතුළු අදාළ සියල්ලන්ටම මේ ගැන ලිඛිතව දැන්වූවා.

පසුව නැවතත් මේ ගැන දැන්වූවහම මධ්‍යම පරිසර අධිකාරිය විසින් කර්මාන්ත ශාලාවට නියෝගයක් කළා මෙම කළු කුඩු සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවක් එවන්න කියලා. දැනට ඒ නියෝගය කරලා වසර ගණනක් ගතවෙලා. ඒත් අදාළ අංශ වලින් එහෙම වාර්තාවක් තාම නම් යවලා නැහැ’ යැයි පවසුවේය.

එන්.පී. ගුණවර්ධන මහතාද අදහස් දැක්වීමට එක්වෙමින්.

ගෙයි බිත්තිවල ඇඟිලි වලින් කළු ඉරි අඳීන්න පුළුවන්. දැන් මාත් රෝගියෙක් වෙලා ඉවරයි.

මෙම ගැටලුවේ වගකිවයුතු අනෙක් පාර්ශ්වය වන රබර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරියෙන්ද අපි මේ පිළිබඳව විමසුවෙමු.

එහිදී එම ආයතනයේ උසස් නිලධාරියෙකු අපට පැවසුවේ මෙවන් වූ අදහසකි.

“ආයතනයෙන් පිටකරන දුහුවිලි අංශු පිළිබඳව පරිසර අධිකාරිය මගින් පරීක්ෂණයක් කළා. එම කාබන් මිශ්‍ර දුහුවිලි අංශු පරිසරයට මුසුවීම වැළැක්වීමට අපි පියවර රැසක් ගෙන තිබෙනවා. ඒ වගේම එසේ පිටවන ප්‍රමාණය තවත් අඩුකරන්න කටයුතු කරමිනුත් සිටිනවා.

මෙම කර්මාන්ත ශාලාවෙන් සිය ගණනක ජනතාව දිවි රැකගන්නවා. අනික මේ ආයතනයට ඉතාම නුදුරින් ගෙවල් පිහිටලාත් නැහැ යැයි පැවසීය.

කෙසේ හෝ වේවා තමන් මුහුණ පා සිටින මෙම අකරතැබ්බයකට කුමන හෝ අංශයක අයෙක් මැදිහත් වී ඉක්මන් විසඳුමක් දෙන්න යැයි නම්බපාන ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා