ඉතිං ඊට පස්සේ...

ඉතිං ඊට පස්සේ...

ලෝකය පුදුමා’කාර තැනෙකි. එහි ම ප්‍රත්‍යන්තයෙක පිහිටි වියට ගෙඩියක් තරම් වූ රත්නදීපය ඊටත් වඩා පුදුමා’කාර තැනෙකි. ඊයේ දක්නට ලැබුණු අමුතු දර්ශනවලින් ඒ බව මොනවට සනාථ වේ. නීතීඥ සංගමය කියා සිටියේ දැන් ඉතින් සියලු ගැටලු අවසන් බව ය.

නව අගවිනිසුරුවරයාට රටේ නීතිය ආරක්ෂා කිරීමට සහාය දෙන බවද, සියලු විරෝධතා අවසන් කරන බව ද ඔව්හු කියා සිටියෝ ය. එහෙත් කළුකෝට්කාරයෝ කිහිප දෙනෙක් අලුත් කඩේ උසාවි සංකීර්ණයේ දී ඊයෙත් පිස්සු නැටූහ. ඔව්හු පොලිස් නිලධාරීන්ට තර්ජනය කළහ. වැටවල් උඩින් පනිමින් පුංචි පහේ නාටකයක් රඟ දැක්වූහ. උසාවිය යනු රංග ශාලාවක් දැ’යි අපට දැන් සැක සිතේ.

දෝෂාභියෝගයේ තේරීම් කාරක සභාවට එරෙහිව අධිකරණයට ඉදිරිපත් කර තිබු රිට් පෙත්සම් හතක් එම පෙත්සම්කරුවන්ගේ නීතීඥයන් විසින් පෙරේදා ඉල්ලා අස්කර ගන්නා ලදී. එම පෙත්සම් හත ම ගාස්තු රහිත ව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේ ය. දෝෂාභියෝගයට එරෙහි පෙත්සම් තවදුරටත් වලංගු නො වේ. ඒවා ඉදිරියට ගෙන යා නො හැකි ය. සමස්ත දෝෂාභියෝග ක්‍රියාවලිය ද දැන් අවසන් ය. ශිරාණි බණ්ඩාරනායක මැතිනිය සිය ධුරයෙන් ඉවත් කොට නව අගවිනිසුරුවරයකු ද පත් කර තිබේ. දැන් මේ කලබලය මෙතැනින් හමාර විය යුතු ය.

මේ අතර පාක්‍යශෝති නමැත්තා තවත් නඩුවක් ගොනු කර තිබේ. ඒ නව අගවිනිසුරුවරයාට එරෙහිව ය. ජනාධිපතිවරයකු විසින් පත් කරනු ලබන තනතුරක රාජකාරි කරන පුද්ගලයා අභියෝගයට ලක් කළ නො හැකි බව කියැ වේ. එය ව්‍යවස්ථාවෙන් ලැබී ඇති නෛතික ප්‍රතිපාදනයෙකි. එබඳු තැනැත්තකු ඉවත් කළ හැක්කේ ද ජනාධිපතිවරයාට ම පමණි. පාක්‍යශෝති වැනි පුද්ගලයන් ශ්‍රී ලංකාවේ නීතිය පිළිගන්නා බවක් පෙනෙන්නට නැත. මේ කුප්‍රකට පුද්ගලයා දුටු සැණෙන් සාමාන්‍ය මිනිස්සු වහා පලා යති. ඒ ඔහු උස - මහත නිසා නොවේ. කළු පාට නිසා නොවේ. ඔහුට සිංහල බැරි නිසා ද නො වේ. මිනිසුන් ඔහු පිළිකෙව් කරනුයේ ඔහු රටට වින කටින යකෙකු නිසා යැයි මතයක් සමාජය තුළ පවතී.

අප මුලින් සඳහන් කළ කළුකෝට්කාරයන් ගොඩ පෙරකදෝරුවන් ද, හොර පෙරකදෝරුවන් ද, නීතීඥ සංගමයේ සාමාජිකයන් ද යැයි නිශ්චිත ව කීමට අපට පුළුවන්කමක් නැත. ඔවුන්ගේ ශරීරයෙහි හඳුනාගත හැකි හංවඩුවක් දැකගන්නටද නැත. කුමක් වුව ඔවුන්ගේ හැසිරීම අශීලාචාර බව පමණක් අපට හැඟිණි. ඔව්හු වරක පොලිස් නිලධාරීන් බදා ගත්හ. තව වරෙක ඉටිපහන් දැල්වූහ. අප දන්නා තරමට ඉටිපහන් දල්වනුයේ සාදු! සාදු! යැයි කීමටය. ඔවුන් සාදු යැයි කියන ලද්දේ හිටපු අගවිනිසුරුතුමියට ද? එහෙත් මේ කළු කෝට්කාරයන් ශිරාණිගේ මිනිසුන් යැයි කියනු ලැබේ.

කළුකෝට්කාරයන් ද පාක්‍යශෝති වැනි එන්. ජී. ඕ. කාරයන්ද කුමක් හෝ ඉල්ලා සිටින බව නම්; ඉතා පැහැදිලි ය. එක්කෝ ඔවුන් පොලිසියෙන් ගුටිකාගෙන නඩු මඟට යන්නට කැමැති ය. නැතහොත් පුංචි රඟපෑමක් සිදුකොට ඒවායෙහි දර්ශන පිටරටට යවා තම මඩිය තර කර ගන්නට කැමැති ය.

තවත් අතෙකින් මොවුන් ආණ්ඩුවට එරෙහි ව ඕනෑ ම අටමඟලයක් හදන්නට සූදානම් ය. පාක්‍යශෝති ආණ්ඩුවට එරෙහි වන්නේ ආණ්ඩුව කොටි සංවිධානය පරාජය කළ නිසා ය. කළුකෝට්කාරයන් ආණ්ඩුවට එරෙහි වන්නේ් හිටපු අගවිනිසුරුතුමියගෙන් ලබා ගත් වාසි දැන් අහෝසි වී ඇති නිසා ය. මේ අය සටන් කරනුයේ රටට හෝ ජනතාවට හෝ ආදරයකින් නොව තමාට හා තම පවුලට ඇති ආදරයකින් ය.

හිටපු අගවිනිසුරිතුමිය නීතිගරුක යැයි ද, නීතිය හා යුක්තිය වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කරන්නේ යැයි ද පුරසාරම් දොඩන’මුත් එබඳු යුක්තිසහගත බවක් හෝ අවංක බවක් හෝ එතුමියගේ හැසිරීමෙන් ප්‍රදර්ශනය නොවේ. “මම තව ම අගවිනිසුරු’ යැ යි එතුමිය කියා සිටින්නී ය. මාධ්‍ය සංදර්ශන පවත්වන්නී ය. ශිරාණි බණ්ඩාරනායක මේ සියලු කස්තිරම් අල්ලනුයේ කොට්ටපැදුරු හකුලාගෙන නිල නිවසට ආයුබෝවන් කියන අතර ය. මේවා පුදුම සහගත දර්ශන නොවේ ද? කොළොම්බියානු ලේඛක මාර්කේස් මේවා හඳුන්වන්නේ පොඩි - පොඩි “ජෙමික්” කියා ය.

මේ තත්ත්වය යටතේ පිරිමියා ගැහැනියක වන්නට පුළුවන. ගැහැනිය පිරිමියකු වන්නට පුළුවන. ඇතින්න පැටවකු වෙනුවට විශාල බිත්තරයක් දමන්නට පුළුවන. කිකිළි බිත්තරයකින් වලිගයක් මතු වන්නට පුළුවන. ධාරානිපාත වර්ෂාවේ කදිමෙට අව්ව පායන්නට පුළුවන. මධ්‍යහ්නයේ තරු බැබළෙන්නට පුළුවන. කළිසම් අමුඩ බවට පරිවර්තනය වන්නට පුළුවන. සාරි මිනිගවුම් බවට පරිවර්තනය වන්නට පුළුවන. ටයිටැනික් බඳු විශාල නැව් අධිවේගී මාර්ග දිගේ දුවන්නට පුළුවන. ජම්බෝ ජෙට් ගංගා දිගේ ඇදී යන්නට පුළුවන. කබරගොයා තලගොයා වන්නට පුළුවන. අන්තිමේ කළුකෝට් ගැලවී නිර්වස්ත්‍රව සිටින්නටත් පුළුවන.

කුමක් වුව ජනතාවට වැට උඩ සිටින්නට පුළුවන් කමක් නැත. ඔවුන් හරි පැත්ත තෝරා ගත යුතු ය. තෝරාගෙන බොරුකාරයන් පලවා හැරිය යුතු ය. දොන් නම් දොන්; සිමන් නම් සිමන් යැයි කතාවක් තිබේ. ඒ අනුව දවල් මිගෙල් - රෑ දනියෙල් පාට්වලට ඉඩක් නැත. එහෙත් රට පුරා ම ඇත්තේ එබඳු රඟපෑම්ය.

හොලිවුඩ් නළුවනට – බොලිවුඩ් නිළියනට වඩා රංගනයේ හි අති දක්ෂ දේශපාලකයෝ අප අතර සිටිති. ස්ටැනිස්ලාවු ස්කිගේ “මැතර්ඩ් ඇක්ටින්” රංගවේදය ඉක්මවා ගිය එන්. ජී. ඕ. කාරයෝ ද අප අතර සිටිති. පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කර ගත යුතු යැයි මොර දෙන විපක්ෂ නායකතුමා පෙරළා දෝෂාභියෝගය පට්ට ගැසුවේ ය. එතුමා ද්විත්ව චරිත නිරූපණයට දක්ෂ ය. අධිකරණය ශුද්ධ භූමියක් යැයි පාරම්බාන එන්. ජී. ඕ. කාරයෝ එහි සිට යකා නටති. ඔව්හු ද දක්ෂ කට්ටඩියෝ වෙති.

අප මුලින් සඳහන් කළ සියලු දෙනාගේ ජීවිත පවතින්නේ අභ්‍යන්තර කැරැල්ල මත ය. ජනතා විමුක්ති පෙරමුණට එල්ලෙන්නට වැලක් තිබිය යුතු ය. එක්සත් ජාතික පක්ෂයට විවේචනය කිරීමට සිද්ධියක් තිබිය යුතුය. එන්. ජී. ඕ. නඩයට පවතින්නට උද්ඝෝෂණයක් තිබිය යුතුය. මේ සියලු දෙනාගේ විකාර රූපී රංගනවලට වේදිකා තනන්නෝ ජන මාධ්‍යවේදියෝ ය. ඊයේත් අගවිනිසුරුතුමිය පසු පස හඹා ගිය මාධ්‍යකාරයෝ “අනේ මැඩම්!” කියමින් ප්‍රකාශයක් ඉල්ලා සිටියහ. ඇවිලෙන ගින්නට පිදුරු දමන්නාත් දැන් මාධ්‍යවේදියෙකි. ඉතිං ඊට පස්සේ රටට කුමක් සිදුවේද?

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා