මුද්‍රණය සඳහා

 
ඇති නැති පරතරයේ වැඩිවීමක්

ඇති නැති පරතරයේ වැඩිවීමක්

වසර 30ක් තිස්සේ පැවැති සිවිල් යුද්ධය අවසන් වීමත් සමඟ අපේ රටේ සංවර්ධන ගමන වේගවත් වුණා. එය පක්ෂ විපක්ෂ කවුරුත් පොදුවේ පිළිගන්නා සත්‍යයක්. සාමය රටක සංවර්ධනයට රුකුලක් වෙනවාය කියන්නේ මේ නිසයි. එය සක්සුදක් සේ පසුගිය සමයේ දක්නට ලැබුණා.

අපේ රටේ ජන ජීවිතය යුද්ධයට පෙර පැවැති තත්­්ත්වයට වඩා උසස් මෙන් ම වඩාත් සංවර්ධනීය තැනකට ගෙන ඒම වත්මන් රජයේ එක් ප්‍රධාන අරමුණක්. ඒ සඳහා තෝරා ගෙන තිබෙන උපාය මාර්ගය රජයේ හා පෞද්ගලික අංශයේ ආයෝජන මතින් රටේ සංවර්ධන ගමන වේගවත් කිරීමයි. සාමාන්‍යයෙන් ආයෝජන අංශයේ රජයේ දායකත්වය අඩු කර සමස්තය පෞද්ගලික අංශය ලවාම ඉටු කර ගත යුතු යන්න වත්මන් රජයේ පිළිවෙත නොවෙයි.

මේ නිසා රජය ද ආයෝජනයට සම්බන්ධ වෙනවා. එහෙත් ඒ සඳහා සීමා මායිම් පවතිනවා. තවමත් රටේ සමස්ත ආයෝජනයෙන් වැඩි ප්‍රතිශතයක් අයත් වන්නේ පෞද්ගලික අංශයට.
 

ඒක පුද්ගල ආදායමේ වර්ධනයක්

මේ අතර කාලාන්තරයක් තිස්සේ ම අප රට තුළ දක්නට ලැබුණේ 4.5% හෝ 5% ක ආර්ථික වර්ධනයක්. 1977 ට පෙර මෙම ප්‍රමාණය 3%ක් හෝ ඊට ආසන්න ප්‍රතිශතයක් ගෙන තිබුණා. 1977 විවෘත ආර්ථිකයේ සම්ප්‍රාප්තියත් සමඟ ම ආර්ථික වර්ධන වේගය වෙනදාට වඩා වැඩි ප්‍රතිශතයක් ගනු ලැබුවා.

එහෙත් අපේ ආර්ථිකයේ සෘණ අගයක් ගත් අවස්ථා ද දක්නට ලැබෙනවා. 2001 දී පැවැතියේ එවන් තත්ත්වයක්. මෙය ආණ්ඩු පෙරළියකට ද එක් ප්‍රධාන හේතුවක් වී තිබුණා. අවසානේ රට නැවත යථා තත්ත්වයට පත් වූ නමුදු එතැන් සිට වුවද රටේ සංවර්ධනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4%ක 5%ක ප්‍රතිශතයක් ඉක්මවා ගියේ නැහැ.

මේ තත්ත්වය වෙනස් වීමට පටන් ගත්තේ 2005 න් පසුව. මේ යුගයේ ද රටේ සිවිල් යුද්ධය බිහිසුණු මට්ටමකින් පැවැතිය ද ආර්ථිකයේ වර්ධන වේගය 6%ක මට්ටමකට දිගින් දිගටම රඳවා ගැනීමට රජය සමත් වුණා. යුද්ධයේ අවසානයත් සමඟ මේ වන විට එම වර්ධනය 7.5%ක් 8%ක් දක්වා මට්ටමකට වර්ධනය වෙලා. එහි සාර්ථකම වර්ෂය ලෙස ගැනෙන්නේ 2011 වසර. එනම් 8% ඉක්ම වූ වර්ධන වේගයක් සටහන් කිරීම.

මේ මට්ටම දිගින් දිගටම වසර ගණනාවක් පවත්වාගෙන යෑම මෙවන් රටක ස්ථාවර සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක්. එහෙත් ගෝලීය ආර්ථිකයේ පසුබෑම් ඊට ඉඩ සලසන්නේ නැති බවයි පෙනෙන්නේ. විශේෂයෙන්ම ඛනිජ තෙල් වැනි ස්වභාවික සම්පත් නොමැති රටක ගෝලීය ආර්ථික පසුබැස්මේ බලපෑම එවන් සම්පත් ඇති රටවලට වඩා වැඩියි.

මේ නිසා 2012 වසරේ අවසාන කාර්තුවේ යම් පසුබෑමක් දක්නට ලැබෙනවා. මේ නිසා පසුගිය වසරේ සමස්ත ආර්ථික වර්ධනය 6.5%ක් පමණ වනු ඇති බවයි වාර්තා වන්නේ. ඕනෑම රටක ආර්ථික සංවර්ධනය එක තැන පල්වෙන මට්ටමින් මිදී ඉදිරියට ගමන් කිරීමත් සමඟ ඇති නැති පරතරයේ වර්ධනයක් දක්නට ලැබෙනවා.

එය ධනේශ්වර ආර්ථික උපාය මාර්ගයක අනිවාර්ය ලක්ෂණයක්. ඊට හේතුව නිතැතින්ම අදාළ රේස් එකේ වේගයෙන් ගමන් කිරීමට නොහැකි යම් පිරිසකට සෙමෙන් ගමන් කිරීමට සිදු වීමයි. ඔවුහු ප්‍රාග්ධනය හිඟ ශිල්පීය ඥානයෙන් අඩු දරිද්‍රතාවයෙන් පෙළෙන අය විය හැකියි.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අපේ රටේ ද ආදායම් බෙදී යෑමේ පරතරයක් පැහැදිලිවම දක්නට ලැබෙනවා. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණ වාර්තාවලින් ද මේ බව තහවුරු වී අවසන් ශ්‍රී ලංකාව එක් පැත්තකින් ඒක පුද්ගල ආදායමේ වර්ධනයක් ලබා ගනිමින් සිටිනවා. බොහෝ අය නෙත් යොමු කරන්නේ ඒ දෙසට. එය හාල්මැස්සන්. බෝල්ලන්, තෝරු, මෝරු එකට ගෙන නැත්නම් සමස්තය ඇසුරින් බෙදා හදා ගෙන තහවුරු කර ගන්නා ඉලක්කමක්. ඇති නැති පරතරයේ මට්ටම ඉන් ප්‍රකාශ වන්නේ නැහැ.

2011 වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වැඩිම ආදායම් ලබන 20% රටේ ජාතික ආදායමෙන් 54.1%කින් හිමි කර ගෙන. එය මීට ඉහත පැවැතියේ (2005 – 2006) 53%ක් ප්‍රතිශතයක් ලෙස. මෙය සරල උදාහරණයකට ගතහොත් පාන් ගෙඩියකින් හරියටම භාගයකට ටිකක් වැඩි කොටසක් දහ දෙනෙකුගෙන් එක් අයෙක් භූක්තිවිදින විට අනෙක් නම දෙනාටම ඉතිරි වන්නේ ඉතිරි භාගයයි. මෙය ආදායමේ අසාධාරණ බෙදීයෑමක්. මේ අතර අඩු ආදායම්ලාභී දුප්පත්ම 20% ජාතික ආදායමෙන් හිමි කර ගනු ලබන්නේ 13.3%ක ප්‍රතිශතයක්.

ගමේ ජීවන මට්ටම ඉහළ දැමිය හැක්කේ සමෘද්ධි නියාමකයාටයි

රටේ සිදු වන සංවර්ධනය සාමාන්‍ය ජනතාවට දැනෙන්නේ නැත යන මැසිවිල්ල නැගෙන්නේ මෙවන් විෂමතාවයන් නිසාදැයි කියන්න දන්නේ නැහැ. එසේ නම් දැනෙන්නේ කාටද අතළොස්සක් සල්ලිකාරයන්ට. දේශීය සල්ලිකාරයන් ඩොලර් 100කට 150කට වුව ද එක රැයක් දකුණේ මුහුදු වෙරළක ගත කිරීමට පසුගිය දෙසැම්බර් 31වැනි දා මැලිකමක් දක්වා නැහැ. උනවටුන ප්‍රදේශයේ වෙරළබඩ පොල් අතු මඩු වැනි නවාතැන් පවා එක් රැයක් හෝ ගත කිරීමට පිරි ඉතිරී ගියේ දේශීය සංචාරකයන්ගෙන්.

ඇති නැති පරතරයේ මෙම විවරය අපේ රටේ ප්‍රථම වරට දක්නට ලැබෙන ප්‍රවණතාවයක් නොවෙයි. 1977 පසු බිහි වූ එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය සමයේ ආර්ථිකය විවෘත වීමත් සමඟ ම මේ තත්ත්වය උදා වුණා. පසු කලෙක ‘ජනසවිය’ හා ව්‍යාපෘති 15000සේ වැඩ සටහන් ක්‍රියාත්මක වූයේ ඊට පිළියම් වශයෙන්. නැතිනම් මේ තත්ත්වය මඟ හරවා ගැනීමට අඩු ආදායම්ලාභීන් ඉලක්ක කර ගනිමින්.

වර්තමානයේ එදාටත් වඩා මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති රට තුළ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එසේ ම එදා මෙන් නොව උතුරු නැ‍ෙඟනහිර පළාත් අවහිරතාවයන්ගෙන් තොරව ඊට දායක වෙනවා. නැවත රටේ ඇති නැති පරතරය වර්ධනය වන්නේ මෙවන් පසුබිමක. මේ නිසා ජීවන වියදමේ ප්‍රශ්නයට මුහුණ දෙන අඩු ආදායම්ලාභීන්ගේ බඩු මල්ලට සාපේක්ෂව මිල දී ගැනීමේ හැකියාව නැතිනම් ක්‍රයශක්තිය අඩුවෙමින් පවතිනවා.

එහෙත් අන්ත දිළින්දන්ගේ ප්‍රතිශතය 2005 සිට ගණන් බැලීමේ දී 25% සිට මේ වන විට 7.5% දක්වා අඩුවෙලා. එය ජයග්‍රහණයක්. මේ සමඟම ශ්‍රී ලංකාව අද ගණන් ගැනෙන්නේ මධ්‍ය ආදායම්ලාභී රටක් ලෙස. දුප්පත්කමේ ශීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබුණ ද ආදායම් බෙදී යෑමේ විෂම පරිසරයක් ජනතාවගෙන් 20%ක් ජාතික ආදායමින් 13%ක් පමණක් හිමි කර ගැනීමේ ප්‍රශ්නය ඉතිරිව පවතිනවා. මේ පිරිස ගොඩ ගැනීමේ නැතිනම් මීට වඩා ශක්තිමත් කිරීමේ ජාතික මට්ටමේ වැඩ සටහනක අවශ්‍යතාවය මතු වෙනවා. ඊට තවත් හේතුවක් වී තිබෙන්නේ, රටේ ක්‍රියාත්මක වන දැව­ැන්ත සහනාධාර වැඩ සටහන්වලින් ද ඔවුනට එතරම් ප්‍රයෝජනයක් අත් නොවීමයි.

සාමාන්‍යයෙන් අඩු ආදායම්ලාභීන්ට සුවිශේෂ වූ සහනාධාර පිළිවෙතක් අපේ රටේ ක්‍රියාත්මක වන්නේ නැහැ. ඉහළ ආදායම් ලාභීන්ගේ බී.එම්. ඩබ්ලිව්. වාහනවලින් පාසල්වලට පැමිණෙන දරුවන්ටත් නොමිලේ පාසල් පොත් හා නිල ඇඳුම් ලැබීමෙන් එය තහවුරු වෙනවා සමෘද්ධි නමින් ඉලක්කගත ප්‍රජාවකට වුව ද ලැබෙන්නේ සොච්චම් මුදලක්. එය ද ඉලක්කගත අයටම ලැබෙනවා ද යන්න ප්‍රශ්නයක්. එසේ නම් දුප්පත්කමේ අනුපාතය 7.5%දක්වා අඩු වී තිබිය දී 30%කට 35%කට සමෘද්ධි සහනාධාර ලැබීම ප්‍රශ්නයක්. සැබෑ දුප්පතුන් සොයාගන්නේ නම් සමෘද්ධි සහනාධාරය වුව ද මීට වඩා තෙගුණයකින් වැඩි කළ හැකිය.

එහෙත් අපේ රටේ සමස්ත සහනාධාර පැකේජයට දැවැන්ත මුදලක් වෙන් වෙනවා.. එය රුපියල් බිලියන 125කට වැඩි මිස අඩුවන්නේ නැහැ. මෙය ප්‍රතිශතයක් ලෙස ගතහොත් ජාතික ආදායමෙන් 27%ක් පමණ වෙනවා. පවතින බඩු මිලට සාපේක්ෂව ආදායමේ වර්ධනයක් ඇති කර ගැනීමට හැම දෙනෙක් ම බලාපොරොත්තු වෙනවා. ආදායමේ වර්ධනයක් නොමැතිව පවතින බඩු මිලට ඔරොත්තු දීමේ ශක්තියක් ලබා ගැනීම පහසු වන්නේ නැහැ. ඉහළ ආදායම්ලාභීන්ට නම් එය ප්‍රශ්නයක් නොවෙයි.

මීට ඇති එකම විසඳුම තෝරාගත් අඩු ආදායම්ලාභීන් ඉලක්ක කර ගනිමින් පවුලෙන් පවුලට අධීක්ෂණය සහිත ප්‍රයෝගික වැඩසටහනක් සැලසීමයි. එය ග්‍රාමීය ආර්ථිකය උඩුයටිකුරු කරන ජනතාව අතරට සැබැවින්ම සංවර්ධනයේ ප්‍රතිලාභ ළඟා කළ හැකි වැඩපිළිවෙළක් විය යුතුයි.

“දිවිනැඟුම” වැඩසටහන මේ සියල්ලටම විසඳුමක්.

‘දිවිනැඟුම’ නව පනතින් සමෘද්ධි ව්‍යාපාරය ද ‘දිවිනැඟුම’යටතට ගෙන තිබෙනවා. ‘දිවිනැඟුම’ රටේ ඇති නැති පරතරයේ අර්බුදයට සාර්ථක විසඳුමක් ලෙසටයි රජය කල්පනා කරන්නේ රැකියාවේ සුරක්ෂිත භාවය පිළිබඳ ගැටලු ඇති කරමින් අනාරක්ෂිතව ක්‍රියාත්මක වූ සමෘද්ධි ව්‍යාපාරයේ ක්‍රියාකාරී නිලධාරී හා නියාමක ප්‍රජාව මේ වන විට ‘දිවිනැඟුම’ දෙපාර්තමේන්තුව යටතේ භෞතිස්ම වී අවසන්. එසේ ම දැන් ඔවුන් විශ්‍රාම වැටුප් සහිත රාජ්‍ය සේවකයන් බවට පත් වෙලා.

ආණ්ඩුව දුප්පත්කම් ප්‍රශ්නයට විසඳුම් දෙමින් අඩු අදායම්ලාභී ප්‍රජාව දැනට සිටින තැනට වඩා ඉහළ තැනකට ගෙන ඒමට කටයුතු කිරීමේ වගකීම පැවරී තිබෙන්නේ විශ්‍රාමික වැටුප් සහිත සමෘද්ධි නිලධාරීන්ට හා නියාමකයින්ට ඒ අය සාමාන්‍ය දෙපාර්තමේන්තුවක වැඩ රටාවට හුරු වුණොත් ‘දිවිනැඟුම’ අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වීමේ අවධානමකට මුහුණ දෙනවා. දිවිනැඟුම දර්ශනය, ප්‍රතිපත්ති හා වැඩසටහන් අඩු ආදායම්ලාභින් ඉලක්ක කරගනිමින් ඔවුන් නඟා සිටුවීම අරමුණු කරගෙන තිබෙන බව සත්‍යයක්. ඒ සම්බන්ධයෙන් විවාදයක් නැහැ.

දෙපාර්තමේන්තු මානසිකත්වයෙන් මිදෙන්නේ නම් සමෘද්ධි නිලධාරීන් තරම් ‘ගම’ ගැන අධ්‍යයනය කළ හැකි වෙනත් කිසිවෙක් නැතිතරම්, එසේ නම් ඔවුන් මහන්සි වී වැඩට බසින්නේ නම් ඇති නැති පරතරයේ ප්‍රශ්නයට අඩු ආදායම්ලාභීන් ගොඩ ගත හැකි හොඳ ම පිරිස සමෘද්ධි නියාමකයන් හා නිලධාරීන්. මේ අනුව දිවිනැඟුම දෙපාර්තමේන්තුව අඩු ආදායම්ලාභීන්ටත් ජීවන මට්ටම ඉහළට ඔසවා තැබීමට ගනු ලබන වෙහෙස මහන්සිය හා කැපවීම මත ඉදිරියේ දී එම ප්‍රජාවගේ ආදායමේ වර්ධනය රැඳී පවතින බව පැහැදිලියි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]