අයි ඈම් ශ්‍රී ලංකා කියාගෙන බිමට පැන්නා

අයි ඈම් ශ්‍රී ලංකා කියාගෙන බිමට පැන්නා

රංගන ශිල්පී බර්ටි ගුණතිලක

ප්‍රෞඪ ඉතිහාසයට හිමිකම් කියන කන්ද උඩරට ප්‍රදේශය කදු වළල්ලෙන් ගහන නේක විධ කතාන්තර වලින් පිරීගිය රාජධානියකි.මෙම ප්‍රදේශයේ ජනතාව ඔවුනට ආවේනික ගති සොභා , චාරිත්‍ර වාරිත්‍ර, භාෂා ව්‍යවහාරවලින් සජ්ජන්න සංස්කෘතික ලක්ෂණයන්ගෙන් හොබනේය. අම්පිටිය නම් කන්ද උඩරට ප්‍රදේශයේ තවත් අපූරු ගම්මානයකි.

ගුණරත්න මහතාත් සිය බිරියත් සමඟ තැණූ කැදැල්ලට එන අලුත් අමුත්තා පිළිබඳ බලාපොරොත්තු රැසක් තබාගෙන උන්හ. එම සොඳුරු සිහිනයට පණ පෙවූ පුංචි සිඟිත්තා අම්පිටියේදී 1924 අගෝස්තු දෙවැනි දා මෙලොව එළිය දුටුවේය. කාලයාගේ ඇවෑමෙන් ඔහු ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේ පවා ප්‍රකට අයකුවේ යැයි සිය මවුපියෝ සිහිනෙනුදු නොසිතන්ට ඇත.

පාසල්වියට සපැමිණීමත් සමඟ මේ දරුවා මහනුවර සංඝරාජ පිරිවෙනට ඇතුළත් කළේ මෙස්ට්‍රිය දොන් බර්ටි සංඝතිස්ස ගුණතිලක නමිනි. ඔහු පිරිවෙනාශ්‍රිතව දැනමුතුකම් උගත් ඔහු විනෝදකාමී ගතිවලින් හෙබි දක්ෂ දරුවකු විය.

එහෙත් පිරිවෙන් අධ්‍යාපනය හරහා ඔහු ලැබූ සමාජ සංස්කෘතික හර පද්ධතීන් අදත් ඔහු සිහිකරන්නේ භක්තියෙනි. එවක පංතියේ ඔහු කා අතරත් ජනප්‍රිය සිසුවකු වූයේ ඕනෑම දෙයක් ඉතා සැහැල්ලුවට ගෙන ඊට ඔබින විහිලුවකින් කාගේත් මුව සිනා නැංවූ අපූරු චරිතයක් වීම නිසාය. ඔහු සංඝරාජ පිරුවනට සමුදෙන්නට සිදුවන්නේ මේ අතරතුරය. ඒ සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහාය.

දියණියක සමඟින්.

ඒ අනුව හේ මහනුවර විදුහලින් උසස් අධ්‍යාපනය ලැබුවේය. කාලය ඉඟිලී ගියේ වේගයෙනි. පාසල් වියේ සිටම චතුර කතිකත්වයක් හිමි බර්ටි සිය අධ්‍යාපන කටයුතු කටයුතු නියැළුණේ දිනෙක මාහැඟි සමාජ මෙහෙවරක නිරත වීමේ අපේක්ෂාව පෙරදැරිවය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු කුලියාපිටිය ගල්පොළ විදුහලට ආයේ සිය ප්‍රථම වෘත්තිය වූ ගුරුපත්වීම ලබාගෙනය.

වසර දෙකක පමණ කාලයක් එහි සේවය කළ බර්ටි දරුවනට අකුරු කියාදී ඉන් මහත් තෘප්තියක් ලැබුවා සේම කිසිවකු නොසිතූ ක්ෂේත්‍රයකට එළඹෙයි. ඒ දේශීය වෛද්‍ය ක්‍රමයටය. ඊට නැඹුරු වී ආයුර්වේදයෙහි නිරත විය. ඒ කාලය තුළ සුළු සුළු ගොඩ වෙදකම් කිරීමටද ඔහු දක්ෂතා දක්වා ඇත.

මේ කාලයේ ගුවන්විදුලියේ කටයුතු කළ එච්. ඩී. විජේදාස, ජෝසප් සෙනෙවිරත්න, සිසිර කුමාර මානික්ක ආරච්චි, වැන්නවුන් හඳුනා ගන්නට බර්ටිට අවස්ථාව උදාවිය. ගුවන්විදුලිය හෙවත් වෑර්ලසය එවක සමාජයේ මහත් බුහුමනට පාත්‍ර වී තිබුණි. ඊට සම්බන්ධවීමට ලැබීම බර්ටිට මහත් ගෞරවයක් වීය. ඒ අනුව 1947 දී ඔහු ගුවන් විදුලියට සම්බන්ධ වන්නේ අපේක්ෂා පෙරදැරිවය.

අහරෙන් මෙහෙන් බහරේනුත්

ගිහින් තියෙනවා

එහිදී ඔහුට ලැබුණේ විකට චරිතයකට පණපෙවීමටය. එම අවස්ථාව බර්ටි ගුණතිලකයන් බාරගත්තේ චිත්ත ධෛර්යයෙනි. මන්ද විකට චරිතයක‍ට පණ පෙවීම එතරම් පහසු කාරණාවක් නොවන්නා නමුදු තම හැකියාව පිළිපඳ ඔහු සතුවූ විශ්වාසය තමා දිරිමත් කළ නිසාය. ක්‍රමයෙන් ගුවන් විදුලි වැඩසටහන් ලිවීමටද පෙළඹුණු ඔහු තවත් අඩියක් ඉදිරියට ගියේය.

මේ අතරතුර ගුවන්විදුලි වෙළෙඳ සේවයේ කටයුතු කළ එච්. ඩී. විජේදාස, ඇල්ප්‍රඩ් පෙරේරා, එක්කර ගනිමින්, විහිළු තහළු වැඩසටහන් ඇරඹූහ. ඒ සමඟම ප්‍රථම වරට 1951 දී “බණ්ඩා නගරයට පැමිණීම” චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාවක් බර්ටිට ලැබුණේ ආයුර්වේදයටත් වෘත්තියෙන් පරිබාහිරව පිවිසි ක්ෂේත්‍රයට ඉදිරියට යමිනි.

විවාහ වූ දා.

ගුවන්විදුලි වැඩසටහන්වලට සහභාගී වීමත් සමඟම ඇනස්ලි ඩයස්, සැමුවෙල් රුද්‍රිගු යන විකට ශිල්පීන්ගේ හමුවීම බර්ටිගේ කලා දිවියේ තවත් කඩඉමක් වැන්න. එසේම ඇතැම් වැඩසටහන්වලට, ගැමුණු විජේසූරිය, ධර්ම ශ්‍රී මුණසිංහ, විජේරත්න වරකාගොඩ, මර්සි එදිරිසිංහ වැන්නවුන් සහභාගී කර ගනිමින් විදෙස් සංචාරවල යෙදී සිය දක්ෂතා පෙන්වන්නට ඔහුට හැකිවිය.

අමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය, ජපානය, චීනය, ඉතාලිය හා මැදපෙරදිග බොහෝ රටවල සිය කණ්ඩායම් සමඟ කිහිපවරක්ම සංචාරය කොට ඇති ඔහු, අහරේන්, මෙහෙන් බහරේන් ද ගොස් ඇති බව සිය මතකය අවදි කරමින් පැවසීය.

මින් ඔබ්බට සිය ජීවිතයේ දිශානතිය හැරවූ ඔහු මුද්‍රිත මාධ්‍යයට ඇලුම් කළේය. ඒ අනුව ලංකාදීප පුවත්පතේ වසර පහක පමණ කාලයක් සහ ලේක්හවුස් ආයතනයේ පුවත්පත් බෙදාහැරීමේ අංශයේ සේවය කරන්නට භාග්‍යය උදාකර ගත්තේය.

දිනක් ගොඩකවෙල ඇමටියගොඩ විදුහලේ 1957 පැවති උත්සවයකට සහභාගි වූ බර්ටි විදුහලේ සේවය කළ ගුරුවරියකට “ආ මෙන්න මෙයා නම් මට ගැළපෙනවා” යයි විහිළුවකට මෙන් කීවේය. විහිළුව දුර දිග ගියේ අද මෙන් දුරකථනය හරහා නොව සතියකට වරක්වත් ලිපි හුවමාරුව මඟිනි.

ඌ මට ගහනවා - ඌ ගහනවා ඇත්තටම ගහල තියෙන්නෙ මට

ඒ අනුව දෙපාර්ශ්වයේ වැඩිහිටියන්ගේ කැමත්ත පරිදි 1959 දී ඔවුනොවුන් අතිනත ගත්හ. එතැන් පටන් බර්ටි ගුණතිලකත්, සෝමා ගුණතිලකත් මහනුවරට ගියේ සිය කැදැල්ල සතුටින් ගොඩනැඟීමටය. ඒ අනුව භාරත ගුණතිලක, හරිස්චන්ද්‍ර ගුණතිලක යන පුතුන් හා ජීවානී ගුණතිලක, කුමුදුනී ගුණතිලක යන දියණියන්ගේ මවුපියෝ බවට පත්වූහ. සිය පියාගේ අඩිපාරේ ගිය දූ දරුවන් ඔහුට ඇප උපස්ථාන කරමින් ආදර්ශවත්ව සිටිනු බලා බර්ටි ගුණතිලක සැනසෙන්නේය. සිය සැඳෑසමය ගෙවන ඔහු ළඟ තනි නොතනියට මේ දුවා දරුවෝ රොක්වෙති. තනිය පළවා හරිති. එවන් විටෙක ඔවුන් හා සිය ජීවිතයේ රසමුසුතැන් අහුලා ගන්නට ඔහු වෑයම් කරන්නේය.

එවැනි පැරණි රසවත් සිදුවීමක් කියන්න යැයි අප කළ ඉල්ලීමට කන්දෙමින් ඔහු සිය මතකය අවදි කළේ මෙසේය.

මිණිබිරියක සමඟින්.

‘අපි ගියා නාට්‍යයක් පෙන්වන්න එංගලන්තයට. එහෙ කෞතුකාගාරයක් තියනවා ලෝකෙ ප්‍රසිද්ධ අයගේ ජීවමාන ප්‍රමාණයේ ඉටිරූප හදලා. මේකෙ ඉඩ තියන තැනකට ගිහින් මමත් හිටගෙන හිටියා. සෙනඟ පෝලීමේ එනවා. ඇස්පිල්ලන් ගහන්නවත් විධියක් නැහැ.

පාසල් දරුවන් ටිකක් පෝළිමේ එනවා. එක ළමයෙක් ඇඟිල්ලෙන් ඇන්නා මගෙ කිහිලි ප්‍රදේශයට. ‘අයි ඇම් ශ්‍රී ලංකා’ කියාගෙන බිමට පැන්නා. සමහරු බියේ දිව්වා. සමහරු හිනාවුණා. අපේ අයවත් දන්නේ නැහැ මම පිළිමයක් වගේ හිටියා කියලා.’

මෙවැනි දහසකුත් සිදුවීම් අතරේ සිදුවීමක් දෙකක් දිගහැරගෙන ඔහු නිමේෂයක් නිහඬවෙයි.

මට නිතරම මතක් වෙනවා, ගුවන් විදුලියේත්, රූපවාහිනියේත් ගිය වැඩසටහනක්. “ඌ මට ගහනවා මට ඌ ගහනවා” ඇත්තටම මටමයි ගහලා තියෙන්නේ. ඒ පාරවල් ටික මටම තමා වැදිලා තියෙන්නේ කියලා දැන්නම් හිතෙනවා.

ගුවන් විදුලි විනෝද සමය වැඩසටහන් විශාල ප්‍රමාණයක් හා චිත්‍රපට 70 ක පමණද රූපවාහිනී ටෙලිනාට්‍යය 30ක හා වේදිකා නාට්‍යවලද විකට ශිල්පියකු වශයෙන් රඟපා දැනට අසු අට වැනි වියේ පසුවන බර්ටි ගුණතිලකයන් ජාතික වස්තුවකි.

මාධ්‍ය කලා කීර්ති, නාට්‍ය සූරී, දේශබන්ධු, කලාභූෂණ, සාමවිනිසුරු වැනි විවිධ සම්මාන, තනතුරු දරමින් මෙරට පමණක් නොව පිටරට ජනතාවද හිනැස්සූ බර්ටි සිය දියණියගේ ඇප උපකාර මත අද ගොඩකවෙල ඇමටියගොඩ නිවසේ කල්ගත කරයි.

මාස්පතා ප්‍රතිකාර ගැනීමට කිලෝමීටර් සිය ගණනක් ගොඩකවෙල සිට කොළඹ මහ රෝහල වෙත යාමට ඒමට අපහසු තත්ත්වයක පත්වන ඔහු මේ තත්ත්වය පිළිබඳ කනස්සල්ලෙන් වෙසෙයි.

කෙසේ නමුත් කලාකරුවා ජාතික වස්තුවකි. ඔහු රැකීම අප කාගේත් වගකීමය. රටක් හිනැස්සූ ඔහු තවකකු තමා හිනස්සන මොහොත පිළිබඳ හිතන්නේය. අපි ඔහුට දීර්ඝායුෂ පතමු.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා