පාරවා හදවත් සමුගත් සුගත්

පාරවා හදවත් සමුගත් සුගත්

දැඩි ලෙස මත් පැනට ඇබ්බැහිවූ සුගත් කාමරයක හුදෙකලාවය.

මේ මොහොතේ දම්මි ඔහු සොයා පැමිණියාය.

“ඇයි දම්මි ඔයා මගෙ ජීවිතෙත් එක්ක සෙල්ලම් කළේ” සුගත් අසයි.

සුගත්ගේ වේදනාබර හඬ ඔස්සේ ඇදී යන චිත්‍රපටය විටක සුගත්ගේ කතාවය, තවත්විටක දම්මිගේ කතාවය. අවසාන විග්‍රහයට අනුව නම් එය කාගේවත් කතාවක් නොව පෙම්වතුන්ගේ කතාවයි. 60 දශකයේදී බොහෝ දෙනකුගේ ආදරයෙන් වැලඳගත් දම්මි සුගත්ගේ ආදර කතාව හෙවත් ගොළුහදවත චිත්‍රපටය බොහෝ දෙනකුගේ කතාබහට ලක්විය.

විශිෂ්ට සිනමාකරු අාචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගේ අධ්‍යක්ෂණයත්, රෙජී සිරිවර්ධනයන්ගේ තිර පිටපතත්, කේමදාසයන්ගේ සංගීතයත් එයට බෙහෙවින් පිටිවහල් විය.

ඒ සියල්ලම අතරතුර පෙම්වතුන් දෙදෙනා ලෙස අද්විතීය රංගනයක නියැළුණු වික්‍රම බෝගොඩත්, අනුලා කරුණාතිලකත් කැපීපෙනිණි. සුගත් ලෙස රංගනයේ යෙදුණු වික්‍රම බෝගොඩයන් පසුගියදා ජීවිතයෙන් සමුගත්තේය.

1940 දී මහනුවර හිඳගලදී උපත ලද දොන් වික්‍රම බෝගොඩ පාසල් කිහිපයකින්ම අධ්‍යාපනය ලැබීය. මහනුවර ධර්මරාජ, කොළඹ ආනන්ද, පන්නිපිටිය ධර්මපාල ඒ පාසල් ය. පන්නිපිටිය ධර්මපාලය ඔහුගේ කලා ජීවිතය පුබුදුවාලූ ස්ථානය විය. එවක ධර්මපාලයේ විදුහල්පතිවරයාව සිටි පී. සී. එදිරිසිංහ මහතා ඉදිරිපත් කළ “මර්චන්ට් ඔෆ් වැනිස්” වේදිකා නාට්‍යයේ ‘ෂයිලොක්’ ගේ චරිතය රඟපාමින් හෙතෙම රංගනයට පිවිසියේ ය. ෂයිලෝක්ගේ චරිතය නිසා ධර්මපාලයේ දී ඔහු කතාබහට ලක්වූ චරිතයක් විය. වසර අවසානයේ රඟපෑම වෙනුවෙන් සම්මාන ලැබීමට ද බෝගොඩ සමත් විය.

1960 දී ලංකා බැංකුවේ සේවයට එක් වූ ඔහු ඒ සමඟම කලා කටයුතු ද පෙරට ගෙන ගියේය. පසුව සුගතපාල සිල්වා මහතා ගේ “බෝඩිංකාරයෝ” නාට්‍යයේ, වීරසේකර ලෙස රංගනයට ද හෙ‍ෙතම දායක විය. ඉන්පසුව වේදිකා නාට්‍ය කිහිපයකට දායක වූ ඔහු ‘තට්ටු ගෙවල්’, හරිම බඩු තුනක්, තුරඟ සන්නිය, රන්තෝඩු, ඔන්න බබෝ ඇතින්නියා, වහලක් නැති ගෙයක්, කැලණි පාලම යන නාට්‍යයන්හි විවිධාකාර චරිත නිරූපණය කළේය.

බෝඩිංකාරයෝ හි වීරසේකරගේ චරිතය බෝගොඩගේ සිනමා සංප්‍රාප්තියට ද බෙහෙවින් බලපෑවේය. ඒ අනුව ‘ගම්පෙරළියේ’ තිස්ස ගේ චරිතයට තෝරාගනු ලැබෙනුයේ වික්‍රම බෝගොඩ ය. මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ තුන් ඈදුතු නවකතාවන් වූ ගම්පරෙළිය, කලියුගය, යුගාන්තය අළලා සිනමාට නැඟුණු සිනමා පට ත්‍රිත්වයේම තිස්ස ඔහු විය. ලාංකීය සිනමාවේ මෙන්ම ලෝක සිනමාවේද එය සුවිශේෂම අවස්ථාවක් විය. මක්නිසාද යත් තුන් ඈදුතු නවකතා ඇසුරින් නිර්මාණය වූ සිනමාපට ලෝක ඉතිහාසයේම විරලය. ඉන් එක් නිර්මාණයක් වන්නේ සත්‍යජිත් රායිගේ ඕපු ත්‍රිත්වය ය. එහෙත් මේ චිත්‍රපට සඳහා ද සත්‍යජිත් රායි වත් එකම නළුවකු යොදාගෙන තිබුණේ නැත. එහෙත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සිය චිත්‍රපට තුනේම තිස්ස කයිසාරුවත්තේගේ චරිතය සඳහා යොදාගත්තේ වික්‍රම බෝගොඩ ය. වයස අවුරුදු 16 චරිතයක් ලෙස ගම්පෙරළියෙන් ඇරඹෙන තිස්ස ගේ් චරිතය, වයස අවුරුදු 80 දක්වා යුගාන්තය දක්වාම විහිදේ. එම චරිත විකාශනයේ අපූර්වතම රඟපෑමක යෙදීමට වික්‍රම බෝගොඩට හැකිවේ.

මේ හැරුණුකොට ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ම දෙලොවක් අතර, ඩී. බී. නිහාල්සිංහගේ “කෙටිකතාව” මෙන්ම බිනරමලී, ආදරයයි කරුණාවයි, කිංකිණි පාද, කළණ මිතුරෝ, අහස්ගව්ව, පළගැටියෝ, සමනල කුමරියෝ, අපි කවදත් සූරයෝ, හත්දින්නත් තරු ඔහු රඟ පෑ චිත්‍රපට අතර තිබේ.

ඒ කුමන චිත්‍රපටය තුළ කෙතරම් මට්ටමින් සාර්ථක වුවද වික්‍රම බෝගොඩ නම් කලාකරුවා ජනතාවගේ වඩාත් ආදරයට පාත්‍ර වූයේ ගොළු හදවතේ සුගත් ලෙසය. එහෙත් බෝගොඩ ඇතැම් විචාරකයන්ගේ නිර්දය විචාරයට ද ලක්වීමට මෙයම හේතු විය.

ඇත්තෙන්ම ගොළු හදවත චිත්‍රපටයක් ලෙස නිර්මාණය ට තෝරා ගැනීමේදී ද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට ද යම් යම් චෝදනා එල්ල වී තිබිණි.

විශේෂයෙන්ම 1962 වර්ෂයේ ලංකාවේ නවකතා කලාව යොමු වී තිබුණේ ප්‍රේමය මුල්කරගත් සරල කතා වෙතය. එහි මූලාරම්භය ලෙස බොහෝ විචාරකයන් සැලකුවේ 1962 කරුණාසේන ජයලත් ශූරීන්ගේ ගොළු හදවත ය. 1962 රාජ්‍ය සම්මාන පවා ලද මේ කෘතිය සිනමාවට නැගීමට තෝරා ගැනීමේදීම එයට ගැරහුම් එල්ල විය. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ගේ අධ්‍යක්ෂණයෙන් කේමදාසයන්ගේ සංගීතයෙන් රෙජී සිරිවර්ධනගේ තිර රචනයෙන් චිත්‍රපටයක් ලෙස එළි දැක්විණි. මුල්ම අවස්ථාවේ චිත්‍රපටය නැරඹූ බොහෝ දෙනා තුළ ඒ කෙරෙහි පැහැදීමක් නොවුණු බවද කියවේ.

විචාරකයන් කෙසේ කුමක් කීවද සතියක් දෙකක් ඇවෑමෙන් දහස් ගණනින් ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවට ඇදගත් චිත්‍රපටයක් විය. ලංකා සිනමාවේ නව යෞවනයේ සුන්දරත්වය ප්‍රථම ප්‍රේමයේ චමත්කාරය මෙතරම් විචිත්‍ර ලෙස චිත්‍රණය කළ වෙනත් චිත්‍රපටයක් නොවූ නිසාය. කලක් ගත වන විට බොහෝ දෙනකුගේ ප්‍රේම කතාව එය වී තිබිණි. ‘ධම්මිගේ කතාව‘, ‘සුගත්ගේ කතාව‘ ලෙසින් බොහෝ දෙනා මෙය වැලඳ ගත්තේ තමන්ගේ හදවතින්ම ය. අධ්‍යක්ෂණය, සංගීතය, තිර රචනය මෙන්ම ඒ සියල්ලම සමඟම ජනතාවට දැනුණේ අනුලා කරුණාතිලක සහ වික්‍රම බෝගොඩගේ චරිත නිරූපණය තුළිනි.

විචාරකයන් බහුතරයක් වික්‍රමගේ චරිත නිරූපණය ගැන කෙසේ කීවද එහි වඩා පෙනී යන කාරණය නම් සිනමාත්මක දෘෂ්ටි කෝණයෙන් බලන කල අධ්‍යක්ෂවරයාගේ භූමිකාව, තිර රචනයේ භූමිකාව, සංගීතඥයාගේ භූමිකාව මෙන්ම අනුුලා කරුණාතිලකගේ් රඟපෑම හමුවේද වික්‍රම බෝගොඩ තරමක් යටපත් වී ඇති බවය.

එමෙන්ම ජනතාවගේ ආදරය ඉහළින්ම දිනූ සුගත්ට සමාජයෙන් ලැබුණේ ඉහළම ප්‍රතිචාරයකි.

“ඉස්සර ඉස්කෝලවල ගෑනු ළමයි පමණක් නොවේ, විවාහක කාන්තාවනුත් සුගත් කියාගෙන මගේ ආදරය ඉල්ලාගෙන ආවා.” වරක් ඔහු පුවත්පතකට පවසා තිබුණේ එසේය.

විශිෂ්ට චරිතාංග නළුවෙකු ලෙස ප්‍රකටවූ වික්‍රම බෝගොඩයන් අවස්ථා ගණනාවකදීම සම්මාන ද ලබා තිබිණි.

අප සෑම කෙනකුම ප්‍රේමය අත්විඳී ආදරය සුන්දරය... විටක ඉතාමත්ම බොළඳය... ඒ සුන්දර බොළඳ දේ එකතුවීමෙන් අති සුන්දර ප්‍රබල ආදරයක් ගොඩනැඟේ. මේ අත්දැකීම් නැති කිසිවකු සිටියහොත් එය පුදුමයකි. සමහර ප්‍රේම ජයග්‍රහණයෙන් අවසන් වේ. තවත් ඒවා පරාජයෙන් අවසන් වේ. ඒ කුමන අයුරින් අවසන් වුවද සෑම පිරිමියකුගේ ම හිතක දම්මි කෙනකුත් සෑම ගැහැනියකුගේම සිතක සුගත් කෙනකුත් සිටී. ගොළු හදවත චිත්‍රපටය විචාරක මිමිදඬුවලට වඩා ජනතාව වැලඳගන්නේ ඒ නිසාය. එලෙස ආදරය අප හදවතට තුරුලු කළ සුගත් අද නික්ම ගොස්ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා