මුද්‍රණය සඳහා

 
මගේ විවේචකයන් පුංචි ළමයි- වසන්ත මොරගොඩ

මගේ විවේචකයන් පුංචි ළමයි- වසන්ත මොරගොඩ

සම්මානනීය රංගන ශිල්පියකු, තිරකතා රචකයකු, වැඩසටහන් නිෂ්පාදකවරයකු මෙන්ම තිරකතා රචකයකු ද වන වසන්ත මොරගොඩ මෙවර අප ආමන්ත්‍රණය කරනුයේ මවුස් සමඟින් චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකුගේ භූමිකාවට ඇතුළත් වෙමිනි.

වෙනස් ආකෘතීන් ඔස්සේ නිර්මාණකරණයේ යෙදෙන්නකු ලෙස වඩාත් ප්‍රකට ඔහු මවුස් රිදී තිරයට ගෙනෙනුයේ ළමා ප්‍රේක්‍ෂක කණ්ඩායම ඉලක්ක කරගනිමිනි.

වසන්ත, ඔබ විශ්වාස කළ මට්ටමට මවුස් නරඹන්න ඉලක්කගත පිරිස සිනමා ශාලාවන්ට පැමිණියාද?

පළමුවෙන්ම කියන්න ඕන මගේ උත්සාහය සාර්ථකයි. ඒ කියන්නෙ චිත්‍රපටය සාර්ථකයි. මවුස් බලන්න ආවේ මං ඉලක්ක කළ ප්‍රේක්‍ෂක පිරිසයි. මේ වන විට ඉහළ ආදායම් වාර්තා තබමින් මවුස් තිරගත වෙනවා. ඒ වගේම මට මේ වන විට හමුවෙලා නැහැ. චිත්‍රපටය නරකයි කියපු කිසිම කෙනෙක්. විචාරකයින් පවා චිත්‍රපටයේ යම් යම් තැන්වල ඇති අඩුපාඩු කියනවා විනා සමස්ත චිත්‍රපටයටම නරකක් කියන්නේ නැහැ. පුංචි ළමුන් සෑහෙන්න සංඛ්‍යාවක් ආවා. මං විමතියට පත්වෙනවා සමහර අවස්ථාවන්වලදී ඔවුන් කියන විවේචන අසා. මවුස් නරඹා චිත්‍රපට ශාලාවෙන් එළියට එන අය එන්නෙ ප්‍රශ්න ඔළුවෙ තියාගෙන නෙවෙයි.

මවුස් හි තේමාව “ළමුන්ට නිදහස දෙන්න” යන්නයි. මොකක්ද ඔබ දකින අන්දමට මෙරට ළමුන්ට නැති නිදහස?

අප හිතාගෙන ඉන්නෙ අපේ ළමයි බොහොම හොඳින් නිදහස භුක්ති විඳිනව කියලා. ඒත් එහෙම නැහැ. ළමයින්ට නිදහස නැතිකරන්නෙ මවුපියෝ. හැමෝම ඒ වගේ නෙවෙයි. ඒත් බහුතරයක් ඒ වගෙයි. හැම ළමයෙක්ම ඉගෙනීමට දක්‍ෂ නැහැ. ඒත් ඔවුන් වෙනත් අංශ යටතේ හුඟක් දක්‍ෂයි. ඒ අංශ හඳුනාගෙන ඔවුනට හැකි මඟ ඔස්සේ යන්න නිදහස දෙන්නයි චිත්‍රපටය හරහා මං ඉල්ලා සිටින්නේ. මේකට උදාහරණයක් මං කියන්නම්. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මවන මගෙ පුතා ඉලෙක්ට්‍රික් වැඩවලටයි දක්‍ෂ. හොඳ පරිගණකයක් දුන්නොත් ඒක කෑලිවලට ගලවලා ආයෙ සවිකරයි. ඒත් මං ආසයි ඔහු හොඳට ඉගෙනගෙන විශ්වවිද්‍යාලයේ යනවට. එලෙස මගේ ආසාව තිබුණත් දරුවාගේ හැකියාව තියෙන්නේ කාර්මික අංශයේ නම් එයට ඉඩදෙන්න ඕනෙනේ. මගෙ පුතාට ඒ නිදහස මං දුන්නා.

චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතය සූකිරි නම් දරුවායි. ඔහුගේ ඉලක්කය වෙත යන්න උදව් කරන යහළුවා වශයෙන් ඔබ තෝරාගන්නේ තරුණ වියෙහි පසුවන තැනැත්තෙක්. අනික ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී ජීවිතය විනාශ කරගත් තරුණයෙක් එකී මිත්‍රත්වයේ තාත්ත්විකත්වය මට පහදන්න?

මට ඒ චරිතයට සූකිරිගේ වයසේ අයකු ගන්නට හොඳටම ඉඩකඩ තිබුණා. ඒත් එහෙම කළා නම් චිත්‍රපටයේ රසය හීනවෙනවා. ජීවිතය විනාශ කරගත් තරුණයකු ළඟ හොඳ ගතිගුණ තියනවා කියලා මට හඟවන්න වුවමනා වුණා. අපි වැරැදිකාර ලේබල් එක ගහලා සමාජයෙන් කොන්කරලා ඉන්න අය දිහා වැරදියට බලන්න එපා කියන උපදේශනයත් චිත්‍රපටයෙන් ලබා දෙනවා. සූකිරිගේ අවශ්‍යතාවය මැනවින් හඳුනාගන්න ඔහු චිත්‍රපටයට මනා ආලෝකයක්වත් ඇතිවග බොහෝදෙනා මට කිව්වා.

ඔබේ සිනමා කෘතියෙහි සංගීතයට දී ඇති ඉඩ ප්‍රමාණය ගැන ඇතැමෙක් සෑහීමකට පත්වෙන්නේ නැහැ. අනික මෑත කාලීනව තිරගත වූ චිත්‍රපටයන්හි අඩංගු ගීත තරමට මෙහි ගීතය ජනප්‍රිය වුණෙත් නැහැ. ඒ ගැන මොකද ඔබට කියන්න තියෙන්නේ.

සියලු දෙනාගේ බලවත් විරෝධතා මැද්දෙයි මං මවුස් සඳහා ගීතය ඇතුළත් කළේ’ අදහස් ප්‍රකාශ කළ අය කිව්වේ ගීතයක් අවශ්‍ය නැහැ කියලා. ඒත් මගෙ තීරණ හිතුවක්කාරයි. එහෙයින් ගීතයක් ඇතුළත් කළා. නමුත් අන් චිත්‍රපට ගීත තරම් මාධ්‍යයන් ඒක පට්ට ගැහැව්වේ නැහැ. අනේ මන්දා මං මේ කාටවත් දොස කියනවා නෙවෙයි. මගේ ගීතය මාධ්‍ය ඔස්සේ නිතර ප්‍රචාරය කළා නම් එය මීට වඩා අද ජනප්‍රියයි. චිත්‍රපටයෙහි සංගීතය ගැන පවසනවා නම් මේ තියන සංගීතය හොඳටම ප්‍රමාණවත් ඊට වඩා කරන්නට ගියා නම් වැඩේ දෙල් වෙනවා.

මවුස් හි ඔබ ප්‍රධාන චරිතයක් රඟනවා. අධ්‍යක්‍ෂණය කරන ගමන් රඟපාන්න පුළුවන්ද? කවුද ඔබව අධ්‍යක්‍ෂණය කළේ?

අනිවාර්යයෙන්ම අධ්‍යක්‍ෂණය කරන ගමන් රඟපාන්න හැකියි. සමහරු කියනවා අධ්‍යක්‍ෂණය කරන ගමන් රඟපාන්න බැහැ කියලා. ඒත් මට පුළුවන්. මං විසින්මයි මාව අධ්‍යක්‍ෂණය කරගත්තෙ.

ඔබ කලක් රංගනයේ යෙදුණේ නැහැ. අධ්‍යක්‍ෂවරයකු ලෙසයි නිර්මාණයන්ට දායක වුණේ. ඔබේම නිර්මාණයකින් ඔබ තුළ සිටින නළුවා එළියට ගන්න හිතුවෙ ඇයි.

ඔය චරිතයත් මං නෙවෙයි කරන්න හිටියේ. නළුවන් කිහිපදෙනෙකුටම කතා කළා. ඔවුන්ගේ එකඟ නොවීම මතයි මං ඒ චරිතය රඟපෑවේ.

චිත්‍රපටයක් නිර්මාණය කරන්නට තරම් ඔබට තියන සුදුසුකම මොකක්ද කියලා මං ඇහැව්වොත්?

මා වසර ගණනාවක් ලංකාවේ ප්‍රමුඛ පෙළේ අධ්‍යක්‍ෂවරුන් යටතේ වැඩ කරලා තියනවා. ඔවුන්ගෙන් ලබාගත් දැනුමයි මා සතු එකම සුදුසුකම.

මවුස් හි පිටපත් රචකයා ඔබයි. රංගන ශිල්පියකු විදිහටත් ඔබ මෙහි ඉන්නවා. ඒ වගේම ප්‍රධාන චරිතය මවන්නෙත් ඔබේම පුතා. ඔබේ බිරියත් මෙයට හවුල්. ඇත්තටම මවුස් වසන්ත මොරගොඩගේ පවුලේ චිත්‍රපටයක්ද?

මම අවශ්‍ය සම්පත් මගෙ ගාව තියනවා නම් තවත් මොකටද වෙන අයව හොයන්නේ. මගේම දේවල් ගැන මට හොඳට විශ්වාසයි. ඒක නිසා කාටවත් ඇඟිල්ල දිගු කරන්න බැහැ මට.

ඔබ සිතන පරිදි චිත්‍රපටයක් වැඩිපුරම මාකට් කරන්න පුළුවන් කාටද?

පුංචි පවුල්වලට. වඩාත් මාකට් කරගන්න පුළුවන් එවැනි පවුල්වල අයට.

මේ ගෙවෙන්නේ මෙරට චිත්‍රපට ක්ෂේත්‍රයේ මොන වගේ කාලයක්ද?

දුර්භීක්ෂ කාලයක්. හැබැයි මවුස් නිසා ඒ දුර්භීක්ෂ කාලයට ධාරාණිපාත වර්ෂාවක් වැටුණා.

වසන්ත මොරගොඩ කියන්නේ වේදිකාවේ හය වතාවක් හොඳම නළුවා ලෙස සම්මාන දිනූ නළුවෙක්. ඒ කාරණාව මත සලකා බලද්දී අද වන විට ඔබ වේදිකාව අමතක කරලා?

මවුස් අධ්‍යක්‍ෂණය කළේ වේදිකාව අමතක කරලා නෙවෙයි. ඒ මොහොතේ මට වුවමනා වුණේ චිත්‍රපටයක් හදන්න. ඊට අවැසි වස්තු විෂය මා ළඟ ඒවෙලේ තිබුණා. මේ වෙලාවේ වේදිකා නාට්‍යයක් සඳහා අවැසි ප්ලොට් එකක් තියනවා නම් වේදිකා නාට්‍යයක් හදනවා. හොඳ ආරාධනාවක් ලැබුණොත් වේදිකා නාට්‍යයක රඟපානවා.

මවුස් සඳහා මේ වන තෙක් ළමයින්ට වඩාත් සුදුසුයි යන ලේබලය ලැබුණෙ නැහැ. ඒකට හේතුව මොකක්ද?

පසුගිය දිනෙක මට අපේ ජනාධිපතිතුමන්ව මුණගැහෙන්න අවස්ථාව උදාවුණා. එතුමාට චිත්‍රපටය නරඹන්න දෙන්න ඉල්ලුවා. ඒත් එක්කම අදාළ බලධාරීන්ට චිත්‍රපටය බලන්න දෙනවා. ඊට පසුව ළමයින්ට සුදුසු යන ලේබලය ලැබේවි. ඒක බලාපොරොත්තුවෙන් තමයි මේ දවස්වල කාලය ගතකරන්නෙ.

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]