නරක් වූ ටින් මාළු ගබඩාවක් පෑලියගොඩ

නරක් වූ ටින් මාළු ගබඩාවක් පෑලියගොඩ

විස සහිත සැමන් ටින් 50,000ක් අත්අඩංගුවට

මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් කලක් තිස්සේ කළ මගඩියක්

කෝටි ගණන් මුදල් උපයන ජාවාරමක සුලමුල හෙළි වෙයි

පරිභෝජනයට නුසුදුසු විස සහිත ආනයනික ටින්මාළු තොගයක් ගොඩගසා තිබූ ගබඩාවක් ඊයේ (16) පෙරවරුවේ සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නියෝග මත වැටලූ පාරිභෝගික සේවා අධිකාරිය එම ටින් මාළු තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

පාරිභෝගිකයා නොමග යවමින් පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරම් සොයා වැටලීම් කරන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලැබී ඇති ‍උපදෙස් මත ක්‍රියා කරමින් අමාත්‍යවරයාගේ නියෝගය මත මේ වන විට අල, ලූනු, කරවල, සහල්, සැමන්, සීනි, ඇතුළු විස සහිත ආහාර තොග වැටලීම් විශාල ප්‍රමාණයක් සිදු කර තිබේ.

මෙම ආහාර තොග පාරිභෝගිකයා අතට පත්වූයේ නම් ඔවුන්ට විස සහිත සෞඛ්‍යයට අහිතකර ආහාර පරිභෝජනයට ගැනීමේ හානිය පමණක් නොව ඔවුන්ගෙන් රුපියල් කෝටියක පමණ මුදලක් ජාවාරම්කරුවන් අතට පත්වන බවද හෙළිවී තිබේ.

වසර ගණනාවක් තිස්සේ මෙරටට සැමන් ආනයනය කරන මහා පරිමාණ ව්‍යාපාරිකයකුට අයත් එම සැමන් ගොඩගැසූ තොග ගබඩාව පෑලියගොඩ නව නුගේ පාරේ පිහිටා තිබේ. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ලැබුණු ඔත්තුවක් මත පාරිභෝගික අධිකාරියේ වැටලීම් අංශයේ ස්ථානාධිපති ප්‍රදීප් කලුතරආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් ඊයේ (16) උදේ වැටලීම සිදු කර තිබේ.

ආනයනික සැමන් ටින් අතර ඇති හානියට පත් සැමන් ටින් එකතු කර කොළඹ පිටකොටුව ඇතුළු කොළඹට ආසන්න බොහෝ ප්‍රදේශවල හෝටල් ආපනශාලා ඇතුළු ස්ථානවලට මෙම සැමන් ටින් තොග වශයෙන් අලෙවි කිරීම සිදු වෙයි.

එසේ හානියට පත් සැමන් ටින් සත්ත්ව ආහාරවලට පමණක් විකිණීමට අවසර ඇතත් වසර ගණනාවක් තිස්සේ ඒවා පාරිභෝගිකයන් අතට පත්ව තිබේ.

මෙම ගබඩාවට මේ වන විට සීල් තබා ඇත. එය පවත්වාගෙන ගිය කෝටිපති ව්‍යාපාරිකයාට එරෙහිව පාරිභෝගික අධිකාරිය අද (17) අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා