පොලිස් වෙස් ගත් ‘9 කල්ලිය’ අත්අඩංගුවට

පොලිස් වෙස් ගත් ‘9 කල්ලිය’ අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් මුදල් සහ දේපළ කොල්ල කෑ බව කියන සැකකරුවන් නවදෙනකු මිරිහාන පොලිසියේ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් නවදෙනා නවගමුව ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් කොල්ලකෑමක් සැලසුම් කරන අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 

පාදුක්ක ප්‍රදේශයේ නිවසක සිදුවූ රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී මේ සැකකරුවන් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසීය.

කඩවත, ග්‍රෑන්ඩ්පාස්, දෙහිවල, වත්තල, වැල්ලම්පිටිය, මහරගම ඇතුළු තවත් ප්‍රදේශ රැසක මොවුන් විසින් සිදු කළ බව කියන කොල්ලකෑම් පිළිබඳ පොලිසිය කළ ප්‍රශ්නකිරීම් වලදී අනාවරණය කර ගෙන තිබේ.

සැකකරුවන් විසින් කොල්ල කෑ බව කියන භාණ්ඩ කිහිපයක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් පොලිසිය විසින් සොයා ගෙන ඇත. මේ කල්ලිය විසින් ඉතා සැලසුම් සහගතව කොල්ලකෑම් සිදු කර ඇතැයි පොලිසිය පවසයි.

සැකකරුවන් පැය 72ක කාලයක් රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදු කරන බව පොලිසිය පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා