රට නඟන දිවි නැඟුමට කඩිනමින් වැඩ

රට නඟන දිවි නැඟුමට කඩිනමින් වැඩ

දිවි නැඟුම දෙපාර්තමේන්තුව පිහිටුවීමට කඩිනමින් කටයුතු කරන බව රජය සහතික වෙයි. සමෘද්ධිලාභීන්ට හිමි සියලු ප්‍රතිලාභ කිසිම කපා දැමීමකින් තොරව පෙර පරිදිම සැපැයීම සිදු කරන බවද සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ බන්දුල තිලකසිරි මහතා 'දිනමිණ' ට ප්‍රකාශ කළේය.

දිවි නැඟුම දෙපාර්තමේන්තුව පිහිටුවන තෙක් සමෘද්ධිලාභීන්ට කුමක් සිදු වේදෝයි අප නැඟූ පැනයකට පිළිතුරු ලබා දෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා එසේ කීය. "දැනට සමෘද්ධිලාභීන් ලක්ෂ 15ක පමණ පිරිසක් සිටිනවා. ඒ පිරිසට අමතරව තවත් ලක්ෂ ‍තුනකට ඉදිරියේදී නව දිවි නැඟුම දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසු ප්‍රතිලාභ හිමි වෙනවා.

අපේ අරමුණ ලක්ෂ 25කට 30 කට නොව දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටින සියලු දෙනාටම දිරියෙන් නැඟී සිටීමට අතදීම යැයි නීතිඥ බන්දුල තිලකසිරි මහතා විස්තර කළේය.

අතිගරු ජනාධිපතිතුමා බලාපොරොත්තු වන්නේ දුප්පත්කම රටින් තුරන් කරන්නයි. ඒ සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මෙහෙයවන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විශේෂ කැපවීමකින් කටයුතු කරනවා.

මෙයට අමතරව ආණ්ඩුවක් ලෙස දුප්පත්කමින් රට මුදා ගැනීමට සැම දෙනා ක්‍රියා කරනවා. දිළිඳුකමින් තොර ශ්‍රී ලංකාවක් මෙවර අය වැයේ තේමාවයි" අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

සමෘද්ධි අධිකාරිය, දක්ෂිණ සංවර්ධන අධිකාරිය, උඩරට ගැමි පුනරුත්ථාපන අධිකාරිය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කොට නව දෙපාර්තමේන්තුව පිහිටුවනවා. ඒවායේ සේවයේ නිරත සේවක පිරිසගේ පෞද්ගලික ලිපි ගොනුවල පවතින අඩු පාඩු සකස් කිරීම මේ දිනවල සිදු කරනවා තිලකසිරි මහතා පැවසීය. "සමෘද්ධි සංගම්වල බැංකුවල සේවා පෙර පරිදිම මේ දිනවල සිදු කරනවා.

ඒ පිළිබඳ සැක සිතන්නට උවමනා නැහැ. කවුරුත් තම තමන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට කටයුතු කරන්න" යැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලීමක් ද කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා