සබරගමුවේ කළුකඩ වෙළෙඳුන්ට වැඩ වරදී

සබරගමුවේ කළුකඩ වෙළෙඳුන්ට වැඩ වරදී

දැනටම ලක්ෂ 77ක් දඩ ගහලා

පාරිභෝගික ජනතාවට වෙළෙඳ භාණ්ඩ අලෙවි කිරීමේ දී නිසි ප්‍රමිතියකින් තොරවීම, භාණ්ඩවල සඳහන් මිලට වඩා වැඩියෙන් විකිණීම, කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම හා වෙනත් පාරිභෝගික ආඥාපනත උල්ලංඝනය කිරීමේ වරදවල් සිදු කිරීම මත කෑගල්ල රත්නපුර දිසා බල ප්‍රදේශවල විවිධ වෙළෙඳ ව්‍යාපාරික පිරිස් අධිකරණයන් හමුවේ වරද කරුවන් බවට පත්ව රුපි: 77,55,500ක දඩ මුදල් ගෙවා ඇති බව වාර්තාවෙයි.

මෙහිදී කෑගල්ල දිසාවේ පාරිභෝගික වැටලීම් ඒකකයේ එච්. එන්. ගුණරත්න මහතා ඇතුළු නිලධාරි පිරිසක් කෑගල්ල මහ දිසාපති තුසිත පී. වනිගතුංග මහතාගේ උපදෙස් මත මේ වැටලීම් සිදු කැර ඇති අතර, රත්නපුර දිසාපති සුනිල් කන්නන්ගර මහතාගේ උපදෙස් මත වැටලීම් ඒකකයේ නිලධාරි යූ. කේ. නානායක්කාර මහතා ඇතුළු පිරිසක් මේ වැටලීම් සිදු කැර තිබේ.

වෙළෙඳ ව්‍යාපාරිකයන් සිය වෙළෙඳ කටයුතු අසාධාරණ ලෙස කරගෙන යද්දී එම ක්‍රියාවලින් ජනතාව අපහසුවට හා පීඩනයට පත්වීම ගැන ලද ආරංචි මත මේ වැටලීම් සිදු කළ බව කෑගල්ල පාරිභෝගික වැටලීම් ඒකකය පවසයි.

මහජනයාට පාඩු සිදුවන අයුරින් පවත්වාගෙන යන වෙළෙඳ සල් පිළිබඳව සිය නමින් නොව නම සඳහන් නොකැර හෝ කෑගල්ල පාරිභෝගික වැටලීම් ඒකකය වෙත දන්වා සිටින පිරිසගේ රහස්‍යභාවය සුරකින ලෙසද වැටලීම් ඒකකය පවසයි.

මේ දඩ මුදල් රජයට ලබා දෙන ලද්දේ පසුගිය වසර අවසාන කාලය තුළ සිදු කළ වැටලීම් පිළිබඳව අධිකරණය හමුවේ පවරන ලද නඩු කටයුතු වලින් බව, පාරිභෝගික අධිකාරියේ නිලධාරිවරයෙක් පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා