මුද්‍රණය සඳහා

 
චන්දිමාල් FIT නම් තරංග ඉවතට ?

සිංහ-කැන්ගරු තෙවැනි සටන හෙට

චන්දිමාල් FIT නම් තරංග ඉවතට ?

ඔස්ට්‍රේලියාවට එරෙහි තෙවැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වීම පිණිස බ්‍රිස්බේන් නුවරට පැමිණ පුහුණුවීම්වල නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර දිනේෂ් චන්දිමාල් අපහසුවෙන් හැසිරෙනු දක්නට ලැබුනු බව වාර්තා වෙයි.

මෙල්බර්න්හි පැවැති පළමු එක්දින තරගයේදී ධෛර්ය සම්පන්න ඉනිමක් ක්‍රීඩා කළ චන්දිමාල් එහිදී කලවේ නහරයක ආබාධයකට ලක්විය.

හෙට (18) පැවැත්වෙන තීරණාත්මක තරගයට චන්දිමාල් හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් යුතුව සහභාගි කරවීම සඳහා කණ්ඩායම් කළමනාකාරිත්වය බලවත් උත්සාහයක නිරත වෙමින් සිටී. ඔහු යෝග්‍ය තත්ත්වයට පැමිණියහොත් අනිවාර්යයෙන්ම ඔහු තරගයට ක්‍රීඩා කරනු ඇති අතර එවිට ආරම්භක පිතිකරු උපුල් තරංග කණ්ඩායමෙන් ඉවතට වීසි වනු ඇත.

වමත් පිතිකරු තරංගගේ පිතිකරණය මෙතෙක් පවතින්නේ ඉතාම දුර්වල අඩියකය. මෙල්බර්න්හි පළමු තරගයේදී එක් ලකුණකට දැවී ගිය ඔහු ඇඩිලේඩ්හි දෙවැනි තරගයේදී ලකුණු නොලබා ම දැවී ගියේය.

මේ දෙවතාවේදීම තරංග දැවී ගියේ එකම ආකාරයට කඩුල්ල පිටුපසට උඩ පන්දු ලබා දෙමිණි. පන්දුවේ වේගය, බවුන්ස් වීම හා දෝලනය නිවැරදිව වටහා ගැනීමේ නොහැකියාව ඔහුගේ වැරැද්ද වී තිබේ. සීමිත ඕවර වැනි වේගවත් තරගවල පළමුව පන්දුවට පහර දීමේදී හෝ ඉලක්කය හඹා යාමේදී ශක්තිමත් ආරම්භයක් අත්‍යාවශ්‍ය වෙයි.

කඩුලු රකින පිතිකරු චන්දිමාල් සිඩ්නිහි පැවැති තෙවැනි ටෙස්ට් තරගයේ හා මෙල්බර්න්හි පැවැති පළමු එක්දින තරගයේදී පිතිකරුවකු මෙන්ම කඩුලු රකින්නකු ලෙසද විශිෂ්ට ක්‍රීඩාවක් කළේය. සිඩ්නිහිදී අගනා අර්ධ ශතකයක් වාර්තා කළ ඔහු එම දක්ෂතාව තව දුරටත් ඉදිරියට ගෙන යමින් මෙල්බර්න්හිදී ලකුණු 73ක් රැස් කළේය.

චන්දිමාල් ක්‍රීඩා කළහොත් කඩුලු රකින්නා වනුයේ ඔහුද නැත්නම් පැහැපත් ක්‍රීඩා අනාගතයකට පෙර නිමිති පහළ කර සිටින කුෂල් ජනිත් පෙරේරා ද යන අසීරු තීරණයට එළැඹීමට තේරීම් නිළධාරීන්ට සිදුවනු ඇත.

බෙන් කටිං යළි සංචිතයට ඔස්ට්‍රේලියාව හෙට තරගයේ වැඩි ආරක්ෂාව පිණිස වේග පන්දු යවන බෙන් කටිං නැවත එක්දින සංචිතයට කැඳවා තිබේ.

25 හැවිරිදි කටිං පසුගිය ඉරිදා ඇඩිලේඩ්හි ඔස්ට්‍රේලියාව පරාජය වූ තරගයේදී මංගල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග වරම් ලැබීය. එහෙත් මිචල් ජොන්සන් හා මිචල් ස්ටාක් යළි කණ්ඩායමට පැමිණීමත් සමග කටිං කණ්ඩායමෙන් ඉවත් කෙරිණි.

“ජොන්සන් හා ස්ටාක් කණ්ඩායමට ඇතුළත් වන්නේ තුවාළ ලබා සිටීමෙන් පසුව නිසා පූර්වාරක්ෂාව පිණිස බෙන් බ්‍රිස්බන්වලට පැමිණ සිටිනවා” යැයි ඔස්ට්‍රේලියා ජාතික තේරීම් නිළධාරී ජෝන් ඉන්වෙරැරිටි ප්‍රකාශ කරයි.

“අපේක්ෂිත පරිදි ක්‍රීඩකයන් දෙදෙනාම ක්‍රීඩා කළ හැකි තත්ත්වයක සිටියොත් බෙන් සිකුරාදා සවස බිග් බෑෂ් ලීග් අවසාන තරගයට නැවත එක්වේවි.”

මේ අතර දිනෙන් දින වැඩිවෙමින් තිබෙන ඔස්ට්‍රේලියා ක්‍රිකට් තේරීම් නිළධාරීන්ගේ වටමාරු ප්‍රතිපත්තිය විවේශනය කරන්නන් අතරට අලුතින්ම එක්වූ පුද්ගලයා බවට මතභේදාත්මක ක්‍රීඩක ෂේන් වෝන් පත්ව සිටී. මේ ප්‍රතිපත්තියට පහර දෙන අනෙකුත් හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් වනුයේ බ්‍රෙට් ලී, ඉයන් චැපල් හා මයිකල් ස්ලේටර්ය.

තරග පහකින් සමන්විත එක්දින තරගමාලාවේ දෙපිලම තරගයක් බැගින් ජය ගෙන දැන් කරට කර පසුවෙති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]