අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය අද

අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් එක්දින තරගාවලිය අද (17) ආරම්භවේ. බස්නාහිර, කඳුරට/ඌව, වයඹ, රුහුණ සහ උතුරු/නැගෙනහිර කණ්ඩායම් තරග වදින මේ තරගාවලියේ අවසන් මහා තරගය ලබන 30වැනිදා එන්.සී.සී.පිටියේ දී පැවැත්වේ.

බස්නාහිර කණ්ඩායමේ නායකත්වය මලින්ත වර්ණපුරට හිමිවී ඇති අතර එහි උපනායකයා ලෙස මහේල උඩවත්ත කටයුතු කරයි. තිළිණ කණ්ඩම්බිගේ නායකත්වයෙන් යුතු කඳුරට/ඌව කණ්ඩායමේ උපනායකයා ලෙස දිමුත් කරුණාරත්න නම් කර තිබේ. උතුරු නැගෙනහිර කණ්ඩායමේ නායකයා ලෙස කෞශල්‍ය වීරරත්නත්, එහි උපනායක ලෙස සමීර සොයිසාත් නම් කර ඇත.

චාමර සිල්වා රුහුණ කණ්ඩායමේ නායකයා වන අතර ඉන්දික සේරම් එහි උපනායක ලෙස කටයුතු කරයි. වයඹ කණ්ඩායමේ නායකත්වය ජෙහාන් මුබාරක් විසින් දරනු ලබන අතර උපනායකත්වය චාමර කපුගෙදරට හිමිවී තිබේ.

ක්‍රීඩකයන් 15දෙනකුගෙන් සමන්විත එක් එක් පළාත් කණ්ඩායම් සඳහා ප්‍රධාන පෙලේ ක්‍රීඩා සමාජ 20කින් ක්‍රීඩකයන් ‍තෝරගෙන තිබේ.

බස්නාහිර පළාත් කණ්ඩායම කෝල්ට්ස්, ද්‍රවිඩ සංගම්, යුද, කුරුණෑගල යොවුන් කණ්ඩායම්වල ක්‍රීඩකයන්ගෙන් සමන්විත වන අතර කඳුරට/ඌව කණ්ඩායමට එස්.එස්.සී, ලංකන්, නාවික, ගුවන් හමුදා කණ්ඩායම්වල ක්‍රීඩකයන් ඇතුලත් වෙති. උතුර නැගෙනහිර කණ්ඩායමට රාගම, බදුරඑලිය, බී.ආර්.සී, සී.සී.සී. ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයන් ඇතුළත් වන අතර හලාවත මේරියන්ස්, මුවර්ස්, වරාය අධිකාරි පිල, පානදුර ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයන්ගෙන් රුහුණ පළාත් කණ්ඩායම සමන්විතය.

බ්ලූම්ෆීල්ඩ්, එන්.සී.සී.සැරසන්ස් සහ ගාල්ල ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයන් වයඹ පළාත් කණ්ඩායම නියෝජනය කරති.

මෙවර තරගාවලියට ජාතික කණ්ඩායම නියෝජනය කරන තිලාන් සමරවීර, තරංග පරණවිතාන, ධම්මික ප්‍රසාද්, දිල්හාර ප්‍රනාන්දු, සුරාජ් රන්දීව්, නුවන් ප්‍රදීප්, සීකුගේ ප්‍රසන්න වැනි ක්‍රීඩකයන් ද එක්වී සිටිති. එමෙන්ම පසුගිය අන්තර් සමාජ එක්දින තරගාවලියේ විශිෂ්ට දස්කම් දැක්වූ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් පළාත් කණ්ඩායම් නියෝජනය කරමින් මේ තරගාවලියට සහභාගි වෙති.

අද සිට 25වැනිදා දක්වා මූලික වටයේ තරග පැවැත්වෙන අතර අවසන් පූර්ව තරග 27 සහ 28 දෙදින එස්.එස්.සී.පිටියේ සහ පී.සරවනමුත්තු පිටියේ දී පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා