මුද්‍රණය සඳහා

 
පාකිස්තාන අගමැති අත්අඩංගුවට ගැනීමේ නියෝගයෙන් අර්බුදකාරී තත්ත්වය උත්සන්නවන ලකුණු

පාකිස්තාන අගමැති අත්අඩංගුවට ගැනීමේ නියෝගයෙන් අර්බුදකාරී තත්ත්වය උත්සන්නවන ලකුණු

පාකිස්තාන අගමැති රාජා පර්වේස් අෂ්රෆ් අත්අඩංගුවට ගන්නා ලෙස එරට අගවිනිසුරු ඉෆ්ටිකාර් මුහමද් චෞද්‍රි පෙරේදා නියෝග කළේය. අල්ලස් චෝදනාවක් මතින් මේ නියෝගය නිකුත් කර ඇත.

රජය ඉවත්විය යුතු බව ඉල්ලමින් දහස් ගණනක විරෝධතා කරුවන් උද්ඝෝෂණයක යෙදී සිටියදී නිකුත් කළ මේ නියෝගයෙන් දැනටමත් පවත්නා අර්බුදය තවත් උග්‍ර අතට පත්වීමේ තර්ජනයක් මතුව ඇතැයි පැවසේ.

අගමැතිවරයා ඇතුළු තවත් 16 දෙනකු අත්අඩංගුවට ගැනීමට අගවිනිසුරුවරයා නියෝග කර ඇත්තේ 2010 දී ඇතිවූ බලශක්ති උත්පාදන ව්‍යාපෘතියකට අදාල දූෂණ චෝදනාවක් සම්බන්ධයෙනි.

ජනාධිපති අසිෆ් අලි සර්දාරිගේ රජය සමග වසර කීපයක් තිස්සේ මතභේදයක පැටළී සිටින අගවිනිසුරුවරයා විසින් අගමැති ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට දුන් නියෝගයෙන් පවත්නා අර්බුදකාරී තත්ත්වය උත්සන්න වනු ඇතැයි විමර්ශකයෝ පෙන්වා දෙති.

ඒ සමඟම මෙම නියෝගය අනුව අෂ්රෆ් ට අගමැති ධුරය අහිමි නොවන නමුත් විශාල විරෝධතාවක් මැද නිකුත් වූ නියෝගයෙන් දැනටමත් අධිකරණ-හමුදා කුමන්ත්‍රණයක් පිළිබඳව පවත්නා දූෂමාණ ආරංචි වලට ගිනි ඇවිලෙනු ඇතැයි ඔවුහු පවසති.

පාකිස්තානයේ තහිර් උල් කඩ්රි ගේ නායකත්වයෙන් අගනුවර පැවැති උද්ඝෝෂ‍ණයට එක්වූ පිරිස් ඊයේ තෙවැනි දිනයටත් විරෝධතාවන්ට සුදානම් වු අයුරු.

අගමැතිට එරෙහිව චෝදනා විභාගයක් පමණක් සිදුවන බැවින් ඔහුට තනතුර අහිමි විමක් සිදු නොවනු ඇතිබවත් වරද කරුවකු වූවොත් පමණක් එම තත්ත්වය උද්ගත වනු ඇති බවත් පැවසේ.

අදාළ චූදිතයන් වහා අත්අඩංගුවට ගත යුතු බවත් දුෂණ චෝදනා විමර්ශනය කරන ජාතික වගකීම් කාර්යාංශයේ සභාපති හා නිලධාරීන් ඊයේ (බ්‍රහස්පතින්දා) අධිකරණය හමුවේ වාර්තා කළයුතු බවත් ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයේ දක්වා ඇත.

නියෝගය නිකුත්වීමත් සමඟ පාකිස්තාන කොටස් වෙළෙඳ පොළ මිල දර්ශක වහා පහත වැටුණු අතර සම්ප්‍රදායගතව මෙවන් අවස්ථාවක ඇති විය හැකිය.

නොසන්සුන්තාවෙන් කඩසාප්පු වැසී ගොස් තිබිණ. බියටපත් ජනතාව වහවහා නිවෙස් කරා ගිය බවද සඳහන්ය.

මේ අධිකරණ නියෝගය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තාන ව්‍යවස්ථාව හා නීති‍යේ ආධිපත්‍ය සුරැකෙන අයුරින් විනිවිද පෙනෙන ස්වභාවයකින් අර්බුදය විසඳාගන්නාතාක් එය එරට අභ්‍යන්තර ප්‍රශ්නයක් ලෙස සලකන අතර ප්‍රජාතන්ත්‍රවාදීව තෝරාගැනුණු රජය සමඟ එක්සත් ජනපදය අනුගතව සිටින බව කියා ඇත.

කෙසේවෙතත් ආරක්ෂක හේතුමත ඊයේ අමෙරිකා තානාපති කාර්යාලය වසා තබන බව සඳහන්ව තිබිණ. ‍


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]