ඊජිප්තු ජනාධිපතිගේ වාග් ප්‍රහාරය අමෙරිකාව හෙළා දකියි

ජනාධිපති වීමට පෙර ඊශ්‍රායලයට එරෙහි

ඊජිප්තු ජනාධිපතිගේ වාග් ප්‍රහාරය අමෙරිකාව හෙළා දකියි

ඊජිප්තු ජනාධිපති වශයෙන් පදවි ප්‍රාප්ත වීමට පෙර ජනාධිපති මොහොමඩ් මොර්සි විසින් ඊශ්‍රායලයට එරෙහිව සිදුකර ඇතැයි කියන දැඩි වාග් ප්‍රහාරය අමෙරිකාව විසින් තරයේ හෙළා දැක තිබේ.

මෙම තොරතුර අනාවරණය කර ඇත්තේ මැද පෙරදිග මාධ්‍ය පර්යේෂණායතනය විසින් නිකුත් කර ඇති වීඩියෝ පටයක් මගිනි. වසර 2010 දී එම ආයතනය සමඟ පැවැති සම්මුක සාකච්ඡාවක දී මොර්සි පලස්තීනය අත්පත් කරගෙන සිටින්නේ ලේ උරා බොන, හැම විටම සටනට පෙළඹෙන, ඌරන්ගෙන් සහ වඳුරන් ගෙන් පැවත එන්නන් බව කියා තිබේ.

පලස්තතීනයට සහ පලස්තීන ජාතිකයන්ට ප්‍රහාර එල්ල කරන අපරාධකරුවන්ට එරෙහිව සෑම ආකාරයකින්ම නැඟි සිටිය යුතු බව ඔහු අවධාරණය කර තිබේ. එහිදී ඇමෙරිකාවටද එරෙහිව වාග් ප්‍රහාර එල්ල කර තිබේ.

මේ වාග් ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස ඇමෙරිකාව මෝර්සිට බල කර ඇත. ඊජිප්තුවේ නව නායකත්වය වෙනස් වු දේශපාලන ස්ථාවරයක පිහිටා කටයුතු කරන බවට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සැක මතු කරයි.

මේ නිසා ඊජිප්තුවට ලබා දීමට අපේක්ෂා කළ අතිරේක ඩොලර් බිලියන 1 ක් වු ආධාර වලින් කොටසක් රඳවා ගැනීමට අමෙරිකාව කටයුතු කරන බව ධවල මන්දිර ප්‍රකාශිකා වික්ටෝරියා නුලාඩ් කියයි.

කෙසේවෙතත්, ඊශ්‍රායලය සමඟ ගිවිසගෙන ඇති 1979 සාම ගිවිසුමට අනුව කටයුතු කිරීමට ඇපකැපවන බවට ජනාධිපති පදවියට පත්විමෙන් පසුව මෝර්සි ප්‍රතිඥා දී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා