ටයි පටියක්, කාර් එකක් හා රක්ෂාවක්!

ටයි පටියක්, කාර් එකක් හා රක්ෂාවක්!

ඩ සෝදා ගත් කල ගොවියා රජකමට වුව සුදුසු යැයි පිළිගැනීමක් තිබිණි. ගොවියා රටක බලය වන්නේ යැයි කියමනක් ද තිබිණි. එහෙත් අද කිසිදු පියෙක් තම පුත්‍රයා ගොවියකු යැයි කියන්නට කැමැති නැත. ඒ පමණක් නොව සිය පුත්‍රයා කෘෂිකර්මය වැනි විෂයයක් හදාරනවාට ද වැඩි දෙනා කැමැති නැත. අපේ මිනිසුන් රැඳී සිටිනුයේ වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී වැනි සිහින තුළ ය. ටයි පටියක් පැළඳ තඩි කාර් එකකින් කන්තෝරුවට යන්නට හැම දෙනා ම සිහින මවති. මේ සිහිනය සමාජය අතර බෝ කළේ බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමය මිස අන් කිසිවක් නො වේ.

ංගී‍්‍රසි ආණ්ඩුව ශ්‍රී ලංකාවට අලුත් අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දුන්නේ සිය සූරා කෑමේ ක්‍රියාවලියට අවශ්‍ය සේවකයන් දේශීය වශයෙන් නිෂ්පාදනය කර ගැනීමට ය. ඔහුගේ අධ්‍යාපනය හා රටේ ඉදිරි ගමන අතර යථාර්ථවත් සහ සම්බන්ධයක් නො තිබිණි. එහෙත් 1948 නිදහස ලබා ගැනීමෙන් පසුවත් බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමය වෙනස් වූයේ නැත. මේ නිසා සුදු කරපටි සොයන රැකියා අපේක්ෂිතයන් ගේ ගණන දිනෙන් - දින වැඩි දියුණු විය. ඒ අතර අධ්‍යාපනය හා රැකියාවන් අතර පරතරය ද ඉහළ ගියේ ය. රැකියා’භිමුඛ අධ්‍යාපන ක්‍රමයක් තව ම අපට නැත.

රටේ උපාධිධාරීන් පිළිබඳ රැකියා ගැටලුවක් මතු වන්නේ ද ඉහත කී පරිසරය තුළ ය. 1956 සිංහල හා දෙමළ භාෂා පිළිගැනීම මගින් ස්වදේශික භාෂාවෙන් උසස් අධ්‍යාපනය ලැබීමේ වරම පහළ පන්තිවලට ලැබිණි. එය වරදක් නො වේ. එහෙත් වෙනස් වූයේ අධ්‍යාපනය ලබන භාෂා මාධ්‍යය පමණි. පාඨ මාලාවන් එසේ ම පැවැතිණි. ඒ අනුව 70 - 80 - 90 දසක තුළ උපාධිධාරීන් ගේ විරැකියාව ඉහළ ගියේ ය. පෞද්ගලික අංශය ව්‍යාප්ත වුව එම අංශයේ රැකියාවන් හා උපාධිධරයා අතර පරස්පරයක් තිබිණි. ඉංගී‍්‍රසි දැනුම පිළිබඳ ප්‍රශ්නය හා සමාජ ආකල්ප එම පරතරය තව දුරටත් වර්ධනය කළේ ය.

උපාධිධරයාගේ විරැකියාව වර්ධනය වූයේ; තවත් ප්‍රධාන ගැටලු කිහිපයක් සමඟ ය. පළමු වන්න ඌන සේවා නියුක්තිය යි. දෙවන්න රාජ්‍ය අංශයේ රැකියාවලට මිස පෞද්ගලික අංශයේ රැකියාවලට උපාධිධාරීන් අකැමැති වීම යි. තෙවන්න රාජ්‍ය අංශයේ පුරප්පාඩු වර්ධනය නො වීම යි. ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ගන්නා විද්‍යාර්ථියාට රැකියා පුහුණුවක් නැත. කළමනාකරණ හැකියාවක් නැත. බොහෝ දෙනාගේ ඉංගී‍්‍රසි දැනුම ද දුර්වල ය. මේ අනුව උපාධිධරයා රැකියාවක් ලබා ගන්නේ තම තත්ත්වයට නො ගැළපෙන වැටුපක් හා තනතුරක් සමඟ ය. මෙහි ප්‍රතිඵලය වූයේ විරැකියාවට සමාන ඌන සේවා නියුක්ති ගැටලුවක් ද නිර්මාණය වීම ය.

උපාධිධරයා දැනුමෙන් සන්නද්ධ පුද්ගලයකු බැවින් ඔහු අභියෝග භාර ගන්නා තැනකට ගොස් කළමනාකරණ හැකියාවන් වර්ධනය කර ගත යුතු ය. එහෙත් එවැනි විභව ශක්තියක් මෙරට උපාධිධරයාට තිබුණේ නැත. ඔවුන් ගේ පුරුද්ද වූයේ රාජ්‍ය අංශයේ සුරක්ෂිත හා පහසු රැකියාවන් ඉල්ලා සිටීම ය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු ඊට පිළිතුරු සැපයූයේ රාජ්‍ය අංශය තව - තවත් කප්පාදු කිරීමෙන් ය. පුදුමයකට මෙන් සමාජවාදී ආණ්ඩුවක් අපේක්ෂා කරන ජනතා විමුක්ති පෙරමුණට ද ඊට විසැඳුමක් හෝ යෝජනාවක් හෝ නො තිබිණි. ඔවුන් අතින් සිදු වූයේ උපාධිධාරීන් කුලප්පු කිරීම පමණි.

තරුණ පරපුරේ විරැකියාව පිටු දැකීමට, නම්; සාධක කිහිපයක් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව විශේෂඥයෝ පෙන්වා දෙති. පළමු වන්න වෘත්තීය අභිමුඛ උසස් අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම ය. දෙවන්න කාර්මික හා තාක්ෂණික අධ්‍යාපනයට විශ්වවිද්‍යාල මට්ටමක් ලබා දීම ය. තෙවන්න තරුණ පරපුරට වෘත්තීය පුහුණුව ලබා දෙන අතරම ආකල්ප වෙනසකට ද මාර්ගය විවෘත කිරීම ය. මේ සියල්ල එකවර කළ හැකි දේ නො වේ. නිදසුනක් ගතහොත් සාම්ප්‍රදායික අධ්‍යාපන පාඨ මාලා එකවර වෙනස් කළහොත්; ඒ මගින් විශාල පිරිසක් අතර මං වෙති.

වත්මන් ආණ්ඩුව මේ ගැටලුව විචක්ෂණශීලී ලෙස විග්‍රහ කරගෙන ක්‍රමානුකූ®ල විසැඳුම් යෝජනාවලියක් ක්‍රියාත්මක කරන බව පෙනෙ යි. ඉතා සරල නිදසුනක් ගත හොත් විශ්වවිද්‍යාල ප්‍රවේශයේ දී ලබා දෙන නායකත්ව පුහුණුව ඉතා වැදගත් ය. එහි වටිනාකම රටේ වැඩිහිටියන් වටහාගෙන නැත. මේ පුහුණුවෙන් පසු ශාරීරික යෝග්‍යතාව ගැන කල්පනා කරන්නටත්, අභියෝග භාර ගන්නටත්, විචාරශීලී වන්නටත් විද්‍යාර්ථියා තුළ පුහුණුවක් ඇති වේ. අනෙක් වැදගත් ම කාරණය සමාජානුයෝජනය යි. මානව සම්බන්ධතා ගොඩනැඟීම යනු ඉතා වැදගත් මාතෘකාවකි. සාමූහික ප්‍රයත්නයකට එකඟ විය නො හැකි පුද්ගලයාට උසස් තනතුරක් දැරිය හැකි නො වේ.

ආණ්ඩුව ගෙන ඇති තවත් වැදගත් පියවරක් වන්නේ කාර්මික හා තාක්ෂණික අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම ය. එම ක්ෂේත්‍ර තුළ ප්‍රථම උපාධි හා පශ්චාද් උපාධි ලබා ගැනීමේ හැකියාව ඉදිරියට උදා වනු ඇත. අ.පො.ස සා/පෙ හා උ/පෙ කඩඉඩම්වල දී අධ්‍යාපනයෙන් ඉවත් වන එහෙත් කුසලතා සහිත තරුණ පිරිස ගේ අනාගතය මේ මගින් සුරක්ෂිත වනු ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය හා තරුණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ඒකාබද්ධ ව ගෙන යන වැඩසටහන ඒ අතින් ආදර්ශවත් ය. සෑම තරුණයකුට ම, සෑම තරුණියකට ම ඛ්ැකියාවක් ඇත යන ආදර්ශ පාඨය ආණ්ඩුව අනුගමනය කරයි. නැවත රටේ උපාධිධාරීන් ගැන කල්පනා කළහොත්; නිදහසින් පසු බිහි වූ කිසිදු ආණ්ඩුවක් උගත් පරපුරට මේ තරම් රැකියා සම්පාදනයක් සිදු කර නැත.

1995 සිට මේ දක්වා සංඛ්‍යා ලේඛන ගත හොත් උපාධිධාරීන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයකට රාජ්‍ය අංශයේ ඉහළ රැකියා ලබා දී තිබේ. වත්මන් ආණ්ඩුව රාජ්‍ය අංශය විස්තාරණය කොට උපාධිධාරීන් සඳහා රැකියා ලබා දුන්නේ ය. මෑත කාලයේ රාජ්‍ය අංශයට බඳවා ගත් උපාධිධාරීන් විසි දහසකට වැඩි පිරිසට පළමුව මාස ගණනක පුහුණුවක් ලබා දුන්නේ ය. එම කාලය තුළ රුපියල් දස දහසක ගෙවීමක් ද ලබා දුන්නේ ය. දැන් මේ උපාධිධාරීන් රුපියල් විසිතුන් දහසක මූලික වැටුපක් සහිත ව සේවයෙහි ස්ථිර කිරීමට පියවර ගෙන තිබේ.

උපාධිධාරීන් ගේ පුහුණුව සම්බන්ධයෙන් ද, ගෙවීම් සම්බන්ධයෙන් ද, විවිධ විවේචන පැවැතිණි. ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ මෙය ප්‍රෝඩාවක් බව ය. කිසි දිනෙක උපාධිධාරීන් සේවයෙහි ස්ථිර නො කරන බව ද ඔව්හු කියා සිටිය හ. අද ඒ සියල්ල බොරු වී ඇත. විවේචන ඉදිරිපත් කිරීම පහසු ය. එහෙත් වැඩ කිරීම ඒ තරමට පහසු නැත. විවේචන පිළිගන්නේ ද? සත්‍යය පිළිගන්නේ ද යන්න තරුණ පරපුරට අයත් කාර්යයෙකි. එලෙස ම ටයි පටි සිහිනයෙන් බැහැර වී පොළොවෙහි පය තබන්නට ද මේ තරුණ පිරිස හිතට ගත යුතු ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා