විපක්ෂයේ විරෝධය පුස් වෙඩිල්ලක්

විපක්ෂයේ විරෝධය පුස් වෙඩිල්ලක්

නිමල් සිරිපාල ද සිල්වා
වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ ඇමැති

ර්තමාන දේශපාලන හා සමාජ වාතාවරණය, එහි වර්ධනීය ප්‍රවණතා අඩුපාඩු මොනවාද ඒවා නිවැරැදි කර ගැනීමට ආණ්ඩුවේ වැඩපිළිවෙළ සහ තවත් කරුණු පිළිබඳ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ සිදුකළ සාකච්ඡාවකි මේ.

* අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීමට අසමත් යැයි ආණ්ඩුවට එරෙහිව ප්‍රබල විවේචනයන් එල්ල වෙනවා. මේ විවේචන සාධාරණයැයි ඔබ විශ්වාස කරනවාද?

මේ වගේ තත්ත්වයක් මොන ආණ්ඩුවක් බලයේ සිටියත් ඇති වෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල කියන දේ එක රැයකින් එක පැයකින් පාලනය කිරීමට පුළුවන් දෙයක් නොවෙයි. අද කතාබහ ඇතිවෙලා තිබෙන්නේ එළවළු මිල ඉහළ යාම කියන කාරණය මූලික කරගෙනයි. මෙයට මූලික වශයෙන් හේතුවෙලා තිබෙන්නේ අධික වැසි සහිත දේශගුණ හා කාලගුණ තත්ත්වය සහ කෘෂි නිෂ්පාදනවලට එයින් ඇති වූ බලපෑම් ආදියයි. එළවළු වගා විශාල ප්‍රමාණයකට අධික වර්ෂාවත් ගංවතුර තත්ත්වයත් බලපෑවා.

මා සිතන විදිහට එළවළු මිල ඉහළ යාම කියන කාරණය අඛණ්ඩව තිබෙන ගැටලුවක් හෝ දීර්ඝ කාලීන තත්ත්වයක් හෝ නොවෙයි. කෙටි කාලීනව ඇතිව කෙටි කලකින් විසැඳීයන විදිහේ තත්ත්වයක්. වර්ෂාධික තත්ත්වය නැතිව ගිය පසු එළවළු මිල පිළිබඳ ගැටලුවත් විසඳීයන එක ස්ථිරයි. මේ තත්ත්වය තුළ විපක්ෂය උත්සාහ කරන්නේ කෙටි කාලීන දේශපාලන න්‍යාය පත්‍ර ඉදිරියට දමාගෙන කටයුතු කිරීමටයි.

* ඒත් මේ තත්ත්වය පාලනය කිරීමට ආණ්ඩුවට උනන්දුවක් නැති බවට විපක්ෂ මතධාරීන් අදහස් පළ කරනවා?

මේ කතාව ඉතාමත් අසාධාරණ කතාවක්. ආණ්ඩුවක් ඕනෑම මොහොතක උත්සාහ කරන්නේ බඩු මිල ඉහළ යාම පාලනය කිරීමටයි. ඒ සඳහා ආණ්ඩුව විශාල ප්‍රයත්නයක නියැලුනා. ගංවතුර, නියඟය වැනි දහසක් අභියෝග මැද පවා සහල් මිල පාලනය කිරීමටත් පාලන මිලෙන් ඉහළට නොයවා රඳවා ගැනීමටත් පුළුවන් වෙලා තිබෙනවා. ඉදිරියේ දී එළවලු මිලත් පාලනය කර ගැනීමට පුළුවන්කම ලැබුණ පසු ඇතිව ඇති අපහසුතා දුෂ්කරතා මඟහැරීමට පුළුවන්කම ලැබේවි.

* ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභවලින් හුදු ජනතාව වෙත නිසි ප්‍රතිලාභ නොලැබෙන බවට චෝදනා එල්ල වෙනවා. මේ ගැන ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?

මේ කතාවත් එහෙමපිටින් වැරැදි කතාවක්. සංවර්ධනයේ ප්‍රතිලාභ විශාල ප්‍රමාණයක් ජනතාව වෙත ලැබී තිබෙනවා. ජනතාවට ගමන් බිමන් යාමට පහසුවෙන් ඔබමොබ ගමන් කිරීමට පහසුකම් සැලසීම, මාර්ග සංවර්ධනය කිරීම වැරැදි දෙයක් විදිහට අර්ථ දැක්වීම හෝ අර්ථ විරහිත දෙයක් විදිහට පෙන්වා දෙනවානම් එසේ කටයුතු කරන්නා මේ හැම දේවල් දැන දැනත් ජනතාව මුලා කිරීමට උත්සාහ කිරීමක් විදිහට පෙන්වා දීමේ වරදක් නැහැ.  වරාය හදන එක, අධිවේගී මාර්ග හදන එක වරදක් විදිහටද මේ අය කියන්නේ. රටක් සංවර්ධනය වෙත ගමන් කරද්දී මේ විදිහේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති මඟින් මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් ලැබෙනවා.

ජනතාවට ප්‍රතිලාභ නොලැබෙන බවට කියන අයට මේ ගැන නොතේරීම පුදුම සහගතයි. අද රට පුරා විශාල පරිමාණයේ වැඩකටයුතු රාශියක් සිදුකරමින් තිබෙනවා. මේ සියල්ලේ ප්‍රතිඵල ලැබෙන්නේ සමස්ථ ජනතාවටයි. එහෙම නැතිව මේවායේ ප්‍රතිලාභ දේශපාලන වශයෙන් බෙදීයාමක් වෙන්නේ නැහැ. සියලු ජනකොටස්වලට තමයි මෙහි ප්‍රතිලාභ ලැබෙන්නේ. යුද්ධය නිමා වීමත් සමඟ මෙරට ජනසමාජය විශාල ඉදිරිගාමී තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. මේ සංවර්ධන ව්‍යාපෘතීන් ඒවායේ ප්‍රතිඵල විදිහට පෙන්වාදීමේ වරදක් නැහැ. ඉදිරිගාමි සමාජීය හා ආර්ථික තත්ත්වයකට අවශ්‍ය පසුබිම මේ වනවිට මේ ආණ්ඩුව මඟින් සකස් කර තිබෙනවා.

* දේශීය නිෂ්පාදනයන් ඉහළ දැමීම සහ දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමත් මෙරට ආර්ථික හා සමාජීය සංවර්ධනයට බලපානවා. මේ ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

ආණ්ඩුව නිතරම දේශීයත්වය දේශීය නිෂ්පාදන ඉහළ නැංවීම ගැන අවධානය යොමු කර, කටයුතු කරනවා. අපට රටක් විදිහට ඉදිරියට යාමට අවශ්‍යනම් දේශීය දේ ශක්තිමත් කළ යුතුයි. එය තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන්නේ. මෙරට ආර්ථික තත්ත්වය ස්ථාවර කිරීමට නම් දේශීය සම්පත් ආරක්ෂා කරගන්නා අතර දේශීය ධනය ආරක්ෂා කරගැනීම මඟින් මෙරට ආර්ථික තත්ත්වය ස්ථාවර කර ගැනීමට පුළුවන්. ආර්ථිකයක් ආරක්ෂාකර ගැනීමට නම් දේශීය විනිමයන් විදේශයන් වෙත ඇදී යන එක වළක්වා ගත යුතුයි. ඒක තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය විය යුත්තේ. හැකි තරම් දේශීයව නිෂ්පාදන ඇති කර ගැනීම මඟින් මෙරට ආර්ථිකයේ ඉදිරිගාමි තත්ත්වයක් ඇති කර ගැනීමට පුළුවන්.

* මෙරට දේශපාලනයේ යළි කතාබහ මවන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. විපක්ෂය සහ විපක්ෂ දේශපාලන සන්ධානය පසුගියදා පිහිටුවා ගන්නා ලද “විපක්ෂයේ විරෝධය” සංවිධානය ආණ්ඩුවේ ඉදිරි ගමනට බාධාවක් ද?

වේගවත්ව ගලාගෙන යන මහා ගඟකට බොරලු කැටයක් දැම්මාට ඒ ගඟ පාලනය කරන්න බැහැ. ආණ්ඩුවත් ඒ වගේ. ආණ්ඩුව ඉතාමත් ශක්තිමත්ව ඉදිරියට ගමන් කරනවා. මේ නිසා විපක්ෂය මොන සන්ධානය හැදුවත් මොන සංවිධානය හැදුවත් ඔවුන්ට ඉදිරි ගමනක් ඉදිරි පැවැත්මක් නැහැ. 2010 දී ජ.වි.පෙ, දෙමළ සන්ධානය, මුස්ලිම් පක්ෂ එකතුවෙලා විපක්ෂයේ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළා. ඒත් එදා ජනාධිපතිතුමා වැඩි ඡන්ද ලක්ෂ විස්සකින් ජයග්‍රහණය කළා. අද බෙදිලා කැඩිලා විනාශ වෙලා තිබෙන එජාපයට එදා තරම්වත් ශක්තියක් නැහැ.

ඉදිරියට යාමට මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට නොවෙයි මැතිවරණයකට ඉදිරිපත්වීමට තරම්වත් අද එක්සත් ජාතික පක්ෂයට ශක්තියක් නැහැ.එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවෙලා සන්ධානගත වෙලා ඉන්නේ කවුද කියලා බලමු. මේ සියලු පක්ෂ දේශපාලන පක්ෂ නොවෙයි බෝඩ් ලෑලි විතරයි. මෙතැන තිබෙන සමහර දේශපාලන පක්ෂවලට ත්‍රීවීල් රථයක අරගෙන යන්න තරම් සාමාජික පිරිසක් නැහැ. තවත් පක්ෂවලට මුළු රටේම ගත්තත් දෙදහසක සාමාජික පිරිසක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහතාට තමන්ගේ දේශපාලන පක්ෂයේ සමඟිය හා සහයෝගය ආරක්ෂා කර ගැනීමට බැරිවෙලා තිබෙනවා.

ඒ වගේ දේශපාලන නායකයෙකුට පුළුවන්ද විපක්ෂයේ සමඟිය රැක ගැනීමටත් විපක්ෂය ශක්තිමත් කිරීමට. විපක්ෂ සන්ධානයේ සිටින මනෝ ගනේෂන් මහතා, අසාද් සාලි මහතා දීර්ඝ කාලයක් එජාපය සමඟ කටයුතු කළ අය. වික්‍රමබාහුලා උනත් පසුගිය කාලයේදීම වැඩ කළේ එජාපය සමඟ සහයෝගයෙන්. ඉතින් මේ අයට අමුතුවෙන් එජාපය සමඟ එකතු වෙන්න දෙයක් නෑ. විපක්ෂයේ සන්ධානයට අලුතින් එක් වූ පිරිසක් නැහැ. ඒ නිසා විපක්ෂයේ අලුත් සන්ධානය ගැන මීට වඩා දිගදුර කතා කිරීමෙන් වැඩක් නැහැ.

* ඒත් විපක්ෂය සන්ධානය කියන්නේ ආණ්ඩුවට එරෙහි පළමු වෙඩි මුරය ඔවුන් දැල් වූ බවයි. මේ ගැන ඔබේ මතය මොන වගේද?

මේ අය කීපාරක් පළමු වෙඩි මුරය පත්තු කළාද ඒ හැම වෙඩි මුරයක්ම පළමු වෙඩි මුරයෙන්ම ඉවරයි. මේ විදිහේ විපක්ෂ සන්ධානයකට ආණ්ඩුව පෙරළනවා තියා ආණ්ඩුව හොලවන්නවත් බැහැ. මේ වගේ දේශපාලන ව්‍යාපාරයක් ගැන අනේ අපොයි කියනවට වඩා කියන්න දෙයක් නැහැ.

* විපක්ෂ සන්ධානය ලෙස එජාපය සංවිධානය වෙද්දි ජ.වි.පෙ. වැනි දේශපාලන පක්ෂ ස්වාධීන විපක්ෂ බලවේගයක් ඇති කිරීමට උත්සාහ කරනවා. මේ ගැන ඔබේ අදහස මොන වගේ ද?

මෙතැනින් විපක්ෂය තවදුරටත් දුර්වල වීමක් බිඳ වැටීමක් පමණයි වෙන්නේ. ඒ හැර මෙතැනින් වෙනත් දෙයක් ඇති වෙන්නේ නැහැ. විපක්ෂය භේදභින්න වීම තව තවත් උග්‍ර අතට පත්වීම තියුණු අතට පත්වීම පමණයි සිදු වෙන්නේ. ඒ වගේ තත්ත්වයක් තුළ විපක්ෂය තවදුරටත් දුර්වල වීමත් එය තවදුරටත් ජනතාවගෙන් දුරස්වීමක් තමයි සිදු වෙන්නේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා