හමුදාවට එරෙහි චැනල් 4 චෝදනා බොරු

හමුදාවට එරෙහි චැනල් 4 චෝදනා බොරු

ජනතාවට ෂෙල් වෙඩි ගැහුවේ නුපුහුණු කොටි සාමාජිකයන්

හමුදා විමර්ශන වාර්තාව හෙළි කරයි

උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම් වාර්තාවේ දැක්වෙන සාමාන්‍ය ජනතාවට හානි ගෙන දුන් ෂෙල් වෙඩි ප්‍රහාර සම්බන්ධයෙන් මතභේදාත්මක චැනල් 4 සේවාවෙන් නැගූ චෝදනා විමර්ශනය කළ හමුදා පරීක්ෂණ කණ්ඩායම ඒවා ශ්‍රී ලංකා හමුදාවේ ප්‍රහාර හේතු කොටගෙන සිදුවූ දෙයක් නොවන බවට තහවුරු කැරගෙන තිබේ.

සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලට තර්ජනයක් වූ එම ප්‍රහාර එල්.ටී.ටී.ඊ. යේ නීති විරෝධි ක්‍රියාදාමයන් නිසා ඇතිවී තිබෙන බවද එම පරීක්ෂණ කණ්ඩායම සිය වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

කාලතුවක්කු ප්‍රහාරවලට ගොදුරුව සාමාන්‍ය ජනතාව ජීවිතක්ෂයට පත්වූ හා තුවාල ලැබූ අවස්ථාවන් ගැන උගත්පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම් වාර්තාවේ දැක්වෙන අතර මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හමුදා වගකිවයුතු බවට චැනල් 4 සේවාවෙන් චෝදනා නඟා තිබිණ.

මේ සම්බන්ධයෙන් විමර්ශනය කරනු පිණිස හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා පරීක්ෂණ කණ්ඩායමක් පත් කරන ලද අතර මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම සය පුද්ගල පරීක්ෂණ කණ්ඩායම සිය පරීක්ෂණ වාර්තාව ඊයේ හමුදාපතිවරයා ට බාර දී තිබේ.

මේ සම්බන්ධයෙන් පුවත්පත් නිවේදනයක් නිකුත් කරන හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා උගත් පාඩම් කොමිසමේ දැක්වෙන සාමාන්‍ය ජනතාව හානියට පත් ෂෙල් වෙඩි ප්‍රහාර ශ්‍රී ලංකා හමුදාව විසින් එල්ලකරන ලද ඒවා නොවන බව අදාළ පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු කැර ඇති බවත් ඒවා එල්.ටී.ටී.ඊ. ග්‍රහණයෙන් බේරී ශ්‍රී ලංකා හමුදාවේ ආරක්ෂාව පතා පලා ආ ජනතාවට කොටි හමුදාවේ නුපුහුණු තුවක්කුකරුවන් විසින් බාල වර්ගයේ කාලතුවක්කු හා වෙඩි උණ්ඩ භාවිතා කරමින් එල්ල කළ ප්‍රහාර බවත් පෙන්වා දී තිබේ.

අවසන් යුද්ධයේ දී පමණක් නොව 1990 තරම් ඈත අවධියේ සිටම ශ්‍රී ලංකා හමුදාව අන්තර්ජාතික මානුෂික නීතියට අනුගතව සටනේ යෙදුණ බවත් අවසන් සටනේ යුද මුක්ත කලාප පැවැත්ම පවා අදාළ සීමාවන් ඉක්මවමින් පවත්වා ගෙන ගිය බවත් වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

එහෙත් එල්.ටී.ටී.ඊ. ය මේ යුද මුක්ත කලාපවලට රැස්වූ ජනතාව අතර සිට ශ්‍රී ලංකා හමුදාවට ප්‍රහාර එල්ල කළ මුත් ශ්‍රී ලංකා හමුදාව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටි බවත් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.  ඊයේ හමුදාපතිවරයාට බාරදුන් අදාළ වාර්තාව ඔහු විසින් අධ්‍යයනය කිරීමෙන් පසු නුදුරේදී ආරක්ෂක ලේකම් වරයාට බාරදීමට නියමිත ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා