EPF මුදල් ආයෝජනයට එරෙහි වෘත්තීය සමිති පෙත්සම ඉවතට

EPF මුදල් ආයෝජනයට එරෙහි වෘත්තීය සමිති පෙත්සම ඉවතට

සේවක අර්ථසාධක අරමුදල් ආයෝජනය කිරීමට එරෙහිව සේවක වෘත්තිය සංගම් එකොළහක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15) නිෂ්ප්‍රභ කෙළේය.

එම අරමුදල් ආයෝජනය කරන්නේ කවරාකාරයෙන්ද යන්න පිළිබඳව එහි සාමාජිකයන් දැනුවත් කිරීම වඩා සුදුසු බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කෙළේය.

එලෙස පුළුල් දැනුවත් කිරීමක් සිදුවන්නේ නම් මෙම පෙත්සම සම්බන්ධ විභාගයක් පැවැත්වීම අවශ්‍ය නැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කෙළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 10 සහ 14(1) (අ) වගන්ති අනුව එලෙස දැනුවත් වීමේ අයිතියක් සේවකයන්ට ඇති බව අධිකරණය අවධාරණය කෙළේය.

අන්තර් සමාගම් සේවක සංගමය, නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමය, ජාතික සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, රක්ෂණ සේවක සංගමය ඇතුළු සේවක සංගම් 11 ක් මෙම පෙත්සම ගොනු කැර තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මූල්‍ය මණ්ඩලය, මහ බැංකු අධිපතිවරයා, කම්කරු කොමසාරිස්වරයා ඇතුළු නම දෙනකු පෙත්සම මගින් වගඋත්තර කරුවන් කොට සිටියහ. අගවිනිසුරු මොහාන් පීරිස්, කේ. ශ්‍රී පවන්, පී. ඒ. රත්නායක යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම ඊයේ (15) කැඳවිය.

2002 වර්ෂය වන විට සේවක අර්ථසාධක අරමුදලෙහි අගය රුපියල් බිලියන 74ක් බවට පෙත්සමෙහි සඳහන් විය. සේවක අර්ථසාධක අරමුදල ඇතැම් ආයතන සහ සමාගම්වල ආයෝජනය කිරීමට යන බව දැනගැනීමට ලැබුණු බව පෙත්සමෙහි සඳහන් වේ.

පාඩු ලබන ආයතන සහ කොටස් වෙළෙඳ පොළෙහි බිඳවැටුණු සමාගම් කිහිපයක එම මුදල් ආයෝජනය කිරීමට යන බවට ද චනගැනීමට ලැබුණු බව පෙත්සමෙහි සඳහන් වේ. එලෙස එම මුදල් ආයෝජනය කළහොත් සේවකයන්ට පිරිමැසිය නොහැකි පාඩුවක් සිදුවන බව පෙත්සම්කරුවෝ සඳහන් කැර ඇත.

එම ආයෝජනය කිරීම් විනිවිද භාවයෙන් යුතුව සිදුවිය යුතු බවට සඳහන් කළ පෙත්සම්කරුවන් එම ආයෝජන කිරීම් පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ. එසේම එම ආයෝජන කිරීම් සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් වීමේ අයිතියක් සේවකයන්ට ඇති බවට ප්‍රකාශයක් කරන ලෙස ද පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා පෙත්සම්කාර වෘත්තිය සමිති වෙනුවෙන් පෙනී සිටියේය. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් එස්. රාජරත්නම් මහතා වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා