1080කට තැපැල් සේවයේ පත්වීම්

1080කට තැපැල් සේවයේ පත්වීම්

තැපැල් දෙපාර්තමේන්තු ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් වසර 16කට පසු ප්‍රථම වරට එකවර ස්ථිර පත්වීම් 1080ක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් අරලියග මන්දිරයේදී ඊයේ (15) පිරිනැමිණ.

නවීන තාක්ෂණයට ගැලපෙන පරිදි තැපැල් සේවය ජාලගතකරණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව බඳවා ගත් මෙම තැපැල් සේවා නිලධාරීහූ පරිගණක දැනුමෙන් සන්නද්ධවූවෝ වෙති.

තැපැල් සේවා ඇමැති ජීවන් කුමාරතුංග මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක තැපැල් ජාලගතකරණ වැඩපිළිවෙළ සඳහා ජනාධිපතිවරයා පසුගිය අයවැයෙන් රුපියල් මිලියන 650ක් වෙන් කර තිබේ.

රටම ආවරණය වන පරිදි මෙම පත්වීම් ප්‍රදානය කෙරුණු අතර සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ජනාධිපතිවරයාගේ අතින් පත්වීම්ලාභීන් 25‍ දෙනකුට පත්වීම් ප්‍රදානය කෙරිණ.

දීර්ඝ ඉතිහාසයක් සහිත තැපැල් දෙපාර්තමේන්තුවේ වටිනාකම සහ වැදගත්කම හඳුනාගෙන එයට ගෞරවයෙන් සලකන්නට සියලුදෙනා පුරුදු විය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

තැපැල් සේවයට නවීන තාක්ෂණය එක් කරමින් අනාගතය කරා ගෙන යන්නට එක්වන තරුණ ජවය වෙත සිය සුබපැතුම් එක්කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. තැපැල් ඇමැති ජීවන් කුමාරතුංග, අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා