කොළඹ සමාජ ශාලාවක දී දෙපිරිසක් ගැටී අයෙක් මරුට

කොළඹ සමාජ ශාලාවක දී දෙපිරිසක් ගැටී අයෙක් මරුට

කොල්ලුපිටිය ඇඩම්ස් ඇවනිවුහිදී ඊයේ(15) අලුයම දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් 22 හැවිරිදි තරුණයෙක් මියගොස් තිබේ. රාත්‍රී සමාජ ශාලාවකදී ඇතිවූ බහින් බස් වීමක් හේතුවෙන් මේ ඝාතනය සිදුකර තිබෙන බවට පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණ මගින් හෙළි වී ඇත.

කොළඹ හත , බාන්ස් වත්තේ පදිංචිව සිටි ත්‍රිරොද රථ රියැදුරකු වූ ජෙයකුමාර් සුරේන් (22) නමැති අය මෙසේ මරණයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි‍. ඝාතනය සිදුකළ බව කියන සැකකරු හඳුනාගෙන තිබේ.

මේ වන විට ඔහු සැඟවී ඇති අතර අත්අඩංගුවට ගැනීමට කොල්ලුපි‍ටිය පොලිසියේ කණ්ඩායමක් යොදවා තිබේ‍.මිය ගිය අය තම යහළුවන් කීපදෙනෙක් සමඟ පෙරේදා (14 ) රාත්‍රී සමාජශාලාවට ගොස් ඊයේ අලුයම වන තෙක්ම එහි විනෝදවී ඇති බවට හෙළි වී ඇත.

එහි විනෝදවීමට ගොස් සිටි තවත් පිරිසක් සමඟ මියගිය අය ආරවුලක් ඇතිකරගෙන තිබේ. පසුව අලුයම දෙක පසුවී මියගිය අය රාත්‍රී සමාජ ශාලාවෙන් පිටව නිවසට යාමට පිටත්වූ බව ඔහුගේ හිතවතුන් පොලිසියට පවසා තිබේ.

සමාජ ශාලාවේදී ආරවුල ඇතිකරගත් පුද්ගලයා අතර මඟ සැඟවී සිට මිය ගිය අය වෙත පැන පහරදී පලාගිය බවට හෙළිවී ඇත.හදිසි ප්‍රහාරයෙන් බිමවැටී සිහි නොමැතිව සිටි මොහු රෝහල් ගත කරන විටද මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සිද්ධිය පිළිබඳ ඇසින් දුටුවන් ඇතුළු පුද්ගලයින් දසදෙනෙකුගෙන් පමණ ප්‍රශ්න කර පොලිසිය සාක්කි සටහන් කරගෙන තිබේ. මෘත දේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පවත්වා සිරුර ඥාතීන් වෙත බාර දීමට නියමිතය. කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනාරත්න මහතාගේ උපදෙස් මත කොල්ලුපිටිය පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා