මුද්‍රණය සඳහා

 
උල්කාපාත කියා පෙන්නුවේ පිළිස්සුණු පිදුරු කැබලියි

උල්කාපාත කියා පෙන්නුවේ පිළිස්සුණු පිදුරු කැබලියි

කුඩාවැව ගොවීහු කියති

අරලගන්විල කුඩාවැව ගම්මානයේ වෙල්යායකට පසුගිය දෙසැම්බර් මාසයේ දිනක උල්කාපාත කඩා වැටීමක් සිදුනොවූ බවද එම ප්‍රදේශයේ පිදුරු කඳුවලට ගිනි තැබීමෙන් පසු ඉතිරිව තිබූ කැබලි ගංවතුරින් වෙල්යායට ගසාගෙන ඒමෙන් පසු ඒවා කිසියම් පිරිසක් මාධ්‍යවලට පෙන්වූ බව කුඩාවැව ගම්මානයේ ගොවීහු සඳහන් කරති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කුඩාවැව ගොවි සංවිධානයේ සභාපති ඩී. ආර්. ගාමිණී මහතා, කුඩාවැව වෙල්යායේ දී මෙම කැබලි මුලින්ම අපට දැකගන්නට ලැබුණා. ඒ දිනවල රතු වැස්ස, කහ වැස්ස හා උල්කාපාත කඩාවැටීම් පිළිබඳව නොයෙකුත් ආරංචි පැතිර යමින් තිබුණි.

කුඩාවැව ප්‍රදේශයේ කුඹුරුවලට වැටුණ මෙම හඳුනාගත නොහැකි වූ කැබලි පිළිබඳව අපි සොයා බැලුවා. පිදුරු කඳුවලට ඒ දිනවල ගොවීන් ගිනි තබා තිබුණා. ඒ ස්ථානවල පරීක්ෂා කිරීමේ දී මෙම කැබලි දැකගන්නට තිබුණා.

වර්ෂාව පැවති දිනවල දී මෙම ප්‍රදේශ සම්පූර්යෙන්ම ජලයෙන් යටවී කුඹුරු හරහා ජලය ගලාගියා. ජලය මඟින් කැබලි කුඹුරුවලට ගසාගෙන ගොස් රැඳී තිබුණා. ඒවා මේ ප්‍රදේශයේ කුඹුරු ගණනාවකම රැඳී තිබුණා.

මේවා උල්කාපාත කොටස් බවට ඒ දිනවල මාධ්‍ය මඟින් ලොකු ප්‍රචාරයක් ලබාදුන්නත්, අපගෙන් කිසිවකු විමසීමක්් කෙළේ නැහැ. මේ අතර මේ කැබලි පිළිබඳව පොලිසිය මඟින්ද විවිධ ආයතනවලට දැනුම්දීම් කළා. මේවා මාධ්‍ය මඟින් දැනුවත් කළත්, ලංකාවේ ඇතුළත කිසිදු පරීක්ෂණයක් සිදුකෙළේ නැහැ. ගම ඇතුළට පැමිණ ගොවීන්ගෙන් විමසීමක් කෙළේ නැහැ.

එසේ තිබියදී එංගලන්තයේ හා අමෙරිකාවේ නාසා ආයතනයට සම්බන්ධ විද්‍යාඥයින් කුඩාවැව වෙල්යායට පැමිණ පරීක්ෂණයක් සිදුකළා. නමුත් මෙහි ගොවිපළවල පිදුරු කඳු පිළිස්සීමෙන් මෙම කැබිලි හටගත් බව පැවසුවත්, එම විද්‍යාඥයින්ට ඒ ගැන ඒත්තු ගැන්වීමට හැකිවුණේ නැහැ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]