කාන්තා ක්‍රිකට් පිලට 5 වැනි තැන

කාන්තා ක්‍රිකට් පිලට 5 වැනි තැන

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි ස්ථානය සඳහා කටක් හිදී පැවැති තරගයෙන් දකුණු අප්‍රිකාව පරදා ලකුණු 88 ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්විය. ලකුණු 244 ඉලක්කය හඹාගිය දකුණු අප්‍රිකාව ඕවර 40යි එක් පන්දුවක් තුළදී ලකුණු 156කට සිමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත්වුහ‍.

සටන්කාමී ඉනිමක් දියත් කළ ශන්ද්‍ර ෆිට්ස් ලකුණු 54 රැස් කළ ද තරගය ජයගැනීමට එය ප්‍රමාණවත් නොවීය. තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය දිනාගත් ශෂිකලා සිරිවර්ධන පන්දු යැවීමේදී කඩුලු 4ක් බිඳ දැමු අතර ශ්‍රී පාලි වීරක්කොඩි හා චමනි සෙනවිරත්න කඩුලු 2බැගින් දවාලීය.

කාසියේ වාසිය දිනාගනිමින් මුලින් පන්දුවට පහරදීමට නායිකා ශෂිකලා සිරිවර්ධන ගත් තීරණය නිවැරදි බව පෙන්වමින් ඕවර 50 අවසානයේ කඩුලු 7කට ලකුණු 243ක් රැස් කිරීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය. ඉනිමේ පළමු කඩුලු 2 ලකුණු 14ක් තුළදී බිඳ වැටුණු අතර චමරි අතපත්තු සමගින් එක්වු දිපිකා රසාංගිකා මුළු ලකුණු සංඛ්‍යාවට ලකුණු 63ක් එක් කළේය.

ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වු චමරි අතපත්තු සමගින් සිවුවැනි කඩුල්ල සඳහා එක්වු නායිකා ශෂිකලා සිරිවර්ධන ලකුණු 83ක සබඳතාවක් ගොඩනැගීමට සමත්විය. චමරි අතපත්තු ලකුණු 52ක් රැස් කළ අතර ඊට 106කදී හතරේ පහර 5ක් අතුළත් විය. ශෂිකලා සිරිවර්ධන ලකුණු 44, දිපිකා රසාංගිකා ලකුණු 43ක් රැස්කළ අතර වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඒෂානි කෞෂල්‍යා පන්දු 31කින් ලකුණු 43ක් ඉනිමට එක් කළාය. පන්දු යැවීමේදී සිලෝයි ට්‍රිඔන් හා මර්සියා ලොටිසොලෝ කඩුලු 2 බැගින් දවාලීය.

ශ්‍රී ලංකාව-243/7 (ඕවර 50) චමරි අතපත්තු 52, ශෂිකලා සිරිවර්ධන 44, ඒෂානි කෞෂල්‍යා 43, දිපිකා රසාංගිකා 43 (මර්සියා ලෙට්සොලෝ 36/2)

දකුණු අප්‍රිකාව-156 (ඕවර 40.1) ශන්ද්‍ර ෆිට්ස් 54, ඩැන් වෑන් 26 (ශෂිකලා සිරිවර්ධන 32/4, ශ්‍රීපාලි වීරක්කොඩි 15/2)

එංගලන්තය තෙවැනියා

චාලර්ට් එඩ්වඩ් වාර්තාකළ විශිෂ්ට ශතකය හේතුවෙන් තෙවැනි ස්ථානය තෝරා ගැනීමට නවසීලන්තය සමග පැවැති තරගයෙන් කඩුලු 4ක් ජයක් හිමිකර ගැනීමට එංගන්තය සමත්විය.

නවසීලන්තය රැස්කළ ලකුණු 220 හඹාගිය එංගලන්තය කඩුලු 6ක් දැවී ඕවර 47ක් තුළ තරගය ජයගැනීමට එංගලන්තයට හැකිවිය. චාලර්ට් එඩ්වඩ් නොදැවී ලකුණු 106ක් රැස් කිරීමට සමත්විය. ඒ සඳහා පන්දු 121කදී හතරේ පහර 15ක් ඇතුළත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය ලකුණු 220රුස් කළේය. එමි ස්ටාර්වයිට් පන්දු 95කදී හතරේ පහර 11ක් සමගින් ලකුණු 85ක් රැස් කළාය. හොලී කොල්වින් කඩුලු 3ක් බිඳ හෙලීය.

නවසීලන්තය-220 (ඕවර 50) එම් ස්ටාර්වයිට් 85 (හොලී කොල්වින් 31/3)

එංගලන්තය-222/6 (ඕවර 47) චාලර්ට් එඩ්වඩ් නොදැවී 106, ලිඩ්යා ග්‍රින්වේ 31

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා