වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස්ට කියුබාවේදී දැඩි හා සංකීර්ණ ප්‍රතිකාර

වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස්ට කියුබාවේදී දැඩි හා සංකීර්ණ ප්‍රතිකාර

රජය ‍අසත්‍ය ප්‍රචාර කරන බවට විපක්ෂ නායකයාගෙන් චෝදනා

වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස් පිළිකා ප්‍රතිකාර සඳහා තවදුරටත් කියුබාවේ රැඳී සිටින අතර දැන් ඉතා දැඩි හා සංකීර්ණ විකල්ප ප්‍රතිකාර සිදු කෙරෙමින් පවතින බව ඔහු විසින් නම් කළ අනුප්‍රාප්තිකයා වන නිකොලස් මධුරෝ පෙරේදා ප්‍රකාශ කළද වෙනිසියුලා විපක්ෂ නායක හෙන්රික් කැප්රිලස් ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් රජය ‍අසත්‍ය ප්‍රචාරය කරන බවට චෝදනා කර තිබේ.

ඔහුගේ රෝගී තත්ත්වය සොයාබැලීම සඳහා පූර්ව ප්‍රකාශනයකින් තොරව කියුබාවට ගොස් ආපසු පැමිනීමෙන් පසු ජාතික රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් "අපේ නායකයා දැන් අතිරේක ප්‍රතිකාර ලබමින් සිටින්නේයැයි " මධුරෝ කියා සිටියේය.

දෙමසකට වැඩි කාලයක් ජනතාව හමුවේ පෙනී නොසිටි චාවේස්, රෝගය හමුවේ අභීතව නැගීසිටිමින් ප්‍රතිකාර අත්විදින බව ඔහු වැඩිදුරටත් පැවසීය. චාවේස්ගේ සොයුරු ඇඩන් ද, මධුරෝ සමග කියුබා ගමනට එක්ව ඇති අතර එහිදි ඔවුන්ට ජනාධිපතිවරයා ගේ සෙසු ඥාතින් හා වෛද්‍ය කණ්ඩායමද හමුවී තිබේ. 58 හැවිරිදි චාවේස්ට අවසන් පිළිකා සැත්කම සිදුකෙරුණේ ඉකුත් දෙසැම්බර් 11 දාය.

එතැන් පටන් ඔහු දැක ගැනීමට නොහැකිවු ජනතාව ඔහුගේ සුවදුක් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන බව ප්‍රකාශ වී තිබේ. කෙසේ වෙතත් පසුගිය දෙමස තිස්සේම ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් රජය අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව පවසන කැප්රිලස් එරට බොලිවාර් මුදලේ අගය පහත නොහෙළන බවටද රජය අසත්‍ය ප්‍රකාශ නිකුත් කළ මුත් දැන් පෙරේදා පටන් එය 30% කින් අවප්‍රමාණය කර ඇතැයි කීවේය.

ජනාධිපතිවරයාට ලේඛන වලට අස්සන් තැබිය හැකි නම් ඔහුට ජනතාව ඇමතිය නොහැක්කේ මන්දැයි ප්‍රශ්න කරන කැප්රිලස් රජය අසත්‍ය ප්‍රකාශ කරන බවත් ජනාධිපතිවරයා කිසිඳු ලේඛනයකට අස්සන් කිරීම හෝ කථනය හෝ සිදු‍ නොකරන බවත් කියා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා