හලාල් හා හරාම්

හලාල් හා හරාම්

ලාල් යනු කැප කළ දේ ය; හෙවත් යහපත් ක්‍රියාවන් ය. හරාම් යනු අකැප කළ දේය; හෙවත් අයහපත් ක්‍රියාවන් ය. මේ සංකල්ප දෙක තවදුරටත් පැහැදිලි කළහොත්; හලාල් යනු දෙවියන් අනුමත කළ ක්‍රියාවන් හැටියට ද; හරාම් යනු දෙවියන් අනුමත නො කළ දේ හැටියට ද හඳුන්වා දෙනු ලැබේ. අන් අඹුවන් කෙරෙහි ආශක්තවීම ද; මස්මාංශ අනවශ්‍ය ලෙස භාවිත කිරීම ද; වෙළෙඳාම අයුක්ති සහගත ලෙස කිරීම ද; හරාම් ලෙස ඉස්ලාම් ආගමික ඉගැන්වීමෙහි දක්වා තිබේ. එහෙත් ව්‍යාපාරිකයා යනු අසීමිත ලාභය මිස ආගමේ නිර්දිෂ්ට වාක්‍ය අදහන්නෙක් නො වේ. හලාල් ප්‍රශ්නයටත් එය බලපා තිබේ.

ව්‍යාපාරිකයාගේ හෙවත් වෙළෙන්දාගේ ඉලක්කය ලාභය උපරිම කර ගැනීම ය. ඔහුට ආගමෙන් වැඩක් නැත. සාධාරණයෙන් වැඩක් නැත. යුක්තියෙන් වැඩක් නැත. ව්‍යාපාරිකයාගේ න්‍යාය ගතහොත්; එය කබරගොයා තලගොයා කර ගැනීමේ සම්ප්‍රදායයට සමාන ය. ඔහු සම්ප්‍රදාය බිඳ හෙළයි. සාරධර්ම බිඳ හෙළයි. සංස්කෘතිය විනාශ කරයි. ව්‍යාපාරිකයාගේ එක ම ඉලක්කය සල්ලි පමණි. මෙය ඉස්ලාම් ආගමට; කුරානයට හා සර්ව සාධාරණයට විරුද්ධ ය.

ශ්‍රී ලංකාව තුළ හලාල් පිළිබඳ ප්‍රශ්නයක් ඇති කරන ලද්දේ ව්‍යාපාරිකයන් ය. එම ව්‍යාපාරික ගොන්නට ඉස්ලාම් ව්‍යාපාරිකයෝ මෙන් ම බෞද්ධ ව්‍යාපාරිකයෝ ද ඇතුළත් වෙති. මේ ව්‍යාපාරිකයන් රටේ අනාගතය ගැන කල්පනා කරන බවක් පෙනෙන්නට නැත.

හලාල් ලේබලය ඉදිරියට දමා මුස්්ලිම් පාරිභෝගිකයන් සියලු දෙනා ග්‍රහණයට ගැනීම ඉහත කී ව්‍යාපාරිකයන් ගේ අරමුණ විය. ඒ හැරෙන්නට අන්‍යාගමික පාරිභෝගිකයා ද ඇන්දවීම ඔවුන්ගේ ඉලක්කය වී තිබිණි. හලාල් පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් ඇති වන්නේ ඉහත කී සාධක ද සමඟ ය. ‘අල්ලා දෙවියන් වහන්සේ තොප සඟවන දුෂ්ට දෑ පිළිබඳ හෙළිදරව් කිරීමට බැඳී සිටින සේකැ’ ය නබිතුමා කියා තිබේ. ව්‍යාපාරිකයෝ සමාජයේ යහගුණ ගැන කල්පනා නො කරති. අනාගතය ගැන සැලැසුම් නො කරති. ඔවුනට ඇත්තේ තාවකාලික වර්තමාන ජීවිතයක් පමණි. එම ජීවිතයෙන් ලෝකය ගොඩ ගත නො හැකි ය.

හලාල් ගැටලුව තුළ ඇත්තේ ආගමික වාදයෙකි. ආගම – ජාතිය මූලික කරගත් ව්‍යාපාර මේ රටේ ක්‍රියාත්මක වේ. ඒවා නරක යැයි කිසිවෙකුටත් කිව නො හැකි ය. විශේෂ ගැටලුවකට ඇත්තේ ඉහත කී ගැටුම් මඟින් සමාජය තල්ලුවන්නේ කොතැනකට ද යන්න පමණි. නූතන සමාජය ඉල්ලා සිටින සර්ව සාධාරණය ස්ථාපිත කිරීමට මේ මගින් කිසිදු තල්ලුවක් ඇති නොවේ.

හලාල් ප්‍රශ්නයෙහි ඇතුළාන්තය වන්නේ ඒ ඔස්සේ ආගම්වාදී හා ජාතිවාදී ප්‍රශ්නයක් මතු කිරීම ය. ඊට ඉඩ දෙන්නට පුළුවන්කමක් නැත. සමහර ජාතිවාදීහු ඉතා වේගවත් කතා පවත්වති. තවත් සමහරු ප්‍රබල විවේචන ඉදිරිපත් කරති. එහෙත් මේ කිසිවක් යථාර්ථය නො වේ.

අප ළංවිය යුත්තේ යථාර්ථය වෙත ය. ඊට බාධාවන් ගණනාවක් තිබේ. එක් බාධාවක් වන්නේ නූතන සමාජය මෙහෙයැවන සමාජ නායකයන්ය. අනෙක් අතට ජනමාධ්‍ය හසුරවන්නන් ය. ඉහත කී සියලු දෙනා ම වැරැදි මාර්ගයේ යති.

අපගේ මූලික මාතෘකාව හලාල් හා හරාම් ය. එම සංකල්ප දෙකෙහි තොරතුරු හා දැනුම දැනට කව්රුත් හරිහැටි නොසලකති. ආගමේ අර්ථයෙන් ඒවා නොදනිති. එහෙත් ඔව්හු කිසිදු බාධාවකින් තොරව ජනතාව නොමග යවති. ඒ ගැන අප කනගාටු විය යුතු ය. හලාල් යනු අනුමත කළ දේ ක්‍රියාත්මක කිරීමක් නම්; ඒ ගැන සැක - සංකා ඇති කර ගත යුතු නැත. අපට සියල්ල කළමනාකරණය කරගැනීමට හැකියාවක් තිබිය යුතු ය.

අපට තවදුරටත් ආගමික හෝ ජාතික ගැටුම් ඇතිකර ගත යුතු නැත. ඒ සියල්ලක්ම නිවැරැදි තැනට ගෙන යා යුතුව තිබේ. අප සටන් කරන ලද්දේ අප වෙනුවෙන් ම නො වේ. අල්ලා දෙවියන් වහන්සේ ස්ත්‍රී දූෂණයට වැට බැඳ කරුණු ඉදිරිපත් කළ සේක. පරඅඹු සේවනයට වැට බැඳූ සේක. තවත් දුරාචාරවලට හොඳටම වැට බැඳූ සේක. අද අපි මේ ගැන නොදැන ඊට දොස් නගන්නෙමු. එහි ප්‍රතිඵලය මහා භයානක වන්නට පුළුවන.

මුස්ලිම් හෙවත් ඉස්ලාම් නීතිය නරක නැත. ආගම් ඇත්තේ මිනිසා යහපත් කිරීමටය. මහනුවර යුගයේ ලියැවුණු පොත්පත් රාශියක් මඟින් ද මේ බව හෙළිදරව් වේ.

අපට මාර්ග ගණනාවක් තිබේ. සාම්ප්‍රදායක ඉංග්‍රීසි අධ්‍යාපනය වනා හී එය වටහා ගත හැකි එක් මාර්ගයක් පමණි. මේ ගණයට වැටුණු විශාල පිරිසක් නොමඟ යති. එලෙස නොමඟ යෑම නිසා සමාජ අර්බුදයකට පාර කැපේ. සියලු දෙනාටම උපදේශය මතම ජීවත්වීම කළ නො හැකි ය. මිනිස්සු විවිධ දර්ශනවාද මත පැටලෙති.

මේ නොයෙක් විකාරවලින් සිදුවන්නේ ආගමික වාද ජාතිකවාද අවුස්සා රට විනාශ කිරීම ය. 1915 සිංහල - මුස්ලිම් කෝලාහලය ඇතිවූයේ වැරැදි තොරතුරු හා වැරැදි සන්නිවේදන මත ය. 1915 මාර්තු 28 දා මහනුවර ආගමික උත්සව පැවැත්වූ පිරිස මුස්ලිම්වරුනට එරෙහිව සටන් වදින්නේ යැයි බොරු ප්‍රචාරයක් පැතිරිණි. එහි ප්‍රතිඵලය වූයේ බෞද්ධ පෙරහරකට ගල් ගැසීමය. එය මෝරා වැඩුණු අතර මාස ගණනක් පුරාවට රට පුරා කලබල සිදුවිණි. එවැන්නක් නැවත සිදුවිය යුතු නැත.

හලාල් සහතිකය මුස්ලිම් අයට හෙවත් ඉස්ලාම් ආගමික අයට පමණක් සීමා කළ යුතු යැයි ජමඉයතුල් උලමා සංවිධානය කියා සිටී. එය ඔවුන්ගේ ආගමික අයිතියෙකි. ඊට බොදුබල සේනා සංවිධානය ද අනුමැතිය දී තිබේ. හලාල් ඉස්ලාම්වලට පමණක් සීමා කිරීම වරදක් නො වේ. ව්‍යාපාරික නාමයෙන් රට විනාශ කිරීමට ඉඩදිය යුතු නො වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා