ජිනීවා පෙරහැරට කලින් හැමදාම බොරු චෝදනා පෝලිමක් එනවා

ජිනීවා පෙරහැරට කලින් හැමදාම බොරු චෝදනා පෝලිමක් එනවා

රියර් අද්මිරාල් සරත් වීරසේකර - දිගාමඩුල්ල දිස්ත්‍රික් එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රී

දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතා සමඟ කාලීන දේශපාලන හා සමාජමය කාරණා අරබයා ‘දිනමිණ’ කළ සාකච්ඡාවකි.

තිස් අවුරුද්දක් තිස්සේ ඇදීගිය බෙදුම්වාදී, ත්‍රස්තවාදී යුද්ධය අන්තර්ජාතික යුද හා මානුෂීය නීතින්ට ගරු කරමින් තුන් අවුරුද්දකින් නිමා කළ ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර බලපෑම් තවමත් එල්ල වෙමින් තිබෙනවා. යුද බිමේ සිටි රණවිරුවකු වගේම ඉන්පසු දේශපාලනඥයකු හැටියටත් මේ තත්ත්වය ඔබට දැනෙන්නේ කොහොම ද?

යුද ජයග්‍රහණය සහ ඉන්පසු රටේ ඇති වූ පරිවර්තනය පැහැදිලිවම ඉතිහාසය ප්‍රතිනිර්මාණයවීමක් ලෙස මං දකිනවා. 15 වැනි සියවසයේ දී 06 වැනි පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී ආර්යචක්‍රවර්ති කියන ආක්‍රමණිකයාට එරෙහිව රජු කල්යල් බලා තම පුත් සපුමල් කුමාරයා යාපනයට යැව්වා. ඔහු ආර්යචක්‍රවර්ති පරාජය කරලා රට එක්සේසත් කළා. 21 වැනි සියවසේ දී ප්‍රතිනිර්මාණය වුනෙත් ඒ ඉතිහාසයමයි. මහින්ද රාජපක්ෂ ජනපතිතුමා තම සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ සෙනෙවියාගේ නායකත්වය යටතේ හමුදා වන්නියට යවලා ප්‍රභාකරන් කියන නරුම ඝාතකයා විනාශ කරලා 35 අවුරුද්දක් තිස්සේ පැවති යුද්ධය නිමා කර රට එක්සේසත් කළා.

මේ ඓතිහාසික පුනරුදය දැන් අපි යළිත් දකිනවා. ආර්ථික අතින් ගතහොත් වරාය, ගුවන්තොටුපොළ, අධිවේගී මාර්ග ඇතුළු මං මාවත්, බලාගාර, ගුවන් පාලම් හැදෙනවා. සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති වෙලා. පොත පත එළි දැක්වෙනවා. සාමකාමී පරිසරයක සහෘද ජනයා කලාව රසවිඳීනවා. සංවර්ධන ව්‍යාපෘති රට පුරා ක්‍රියාත්මක වෙනවා. අධ්‍යාපනයේ ප්‍රබෝධයක් තිබෙනවා.

l රටේ පවතින සාමකාමී බව, දේශපාලන, ආර්ථික ස්ථාවරබව බිඳදැමීමට රට තුළ සහ ඉන් පිටත සිටින ඇතැම් බලවේග දරන වෑයම ඔබ කොහොමද තේරුම් ගන්නේ?

මේ වගේ බලවේග ඉතිහාසය පුරාමත් සිටියා. පවාදීම් කළා. ඕනතරම් උදාහරණ තියෙනවා. එළාර රජුගේ හමුදාවෙත් සිංහල සෙනෙවියෝ හිටියා. ඉංග්‍රීසි කාලෙත් සමහරු රට පවා දුන්නා. ඒ ජානවලින් පැවත එන අය අදත් ඉන්නවා. ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිල සැසියේ දී කියන්න හදන්නේ අහිංසක දෙමළ වැසියන් නිරර්ථකව මැරුවා, මානව මිහිකම් කැඩුවා කියලා. හැබැයි මේ යුද්ධය ආරම්භයේ පටන් අවසානය දක්වා අවුරුදු 29ක් නාවික හමුදාවේ සිටි කෙනෙක් හැටියට මං පැහැදිලිවම කියනවා ඔය චෝදනා සම්පූර්ණ අසත්‍ය බව.

මම උදාහරණයක් දෙන්නම්. යුද්ධයේ අග හරියේදී මුහුදු කොටි නායක සුසෙයිගෙ පවුලම ඉන්දියාවට පැනයාමට දැරූ උත්සාහයේ දී මහ මුහුදෙදි නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත්තා. සුසෙයි කියන්නේ නාවික භටයන් විශාල පිරිසක් මරාදැමූ මුහුදු කොටීන්ගේ නායකයා.

ඒ පවුලෙ අය අත­්අඩංගුවට ගත් බව ප්‍රභාකරන් දන්නෙත් නෑ. වෙන කවුරුත් දන්නෙත් නෑ. ඕන නම් සුසෙයිගෙ පවුලම මරාදාන්න තිබුණා. නමුත්, අපට සේනාධිනායකයා ලෙස ජනපතිතුමන්ගෙන්, ආරක්ෂක ලේකම් තුමන්ගෙන් ලැබුණු පැහැදිලි උපදෙස නියෝගය තමයි අහිංසක වැසියන්ට හානි සිදුනොකිරීම. සතුරා පවා අවි දැරුවෙ නැත්නම් අපි මරන්නේ නෑ.

අපේ හමුදා මේ යුද්ධය කළේ එහෙමයි. බැරැක් ඔබාමාගේ හමුදාව නිරායුධව සිටි බින්ලාඩ්න් සහ ඔහුගේ පවුලේ අයට මොකද කළේ ඒ නිසා අපට ඔය චෝදනා එල්ල කිරීම වැරදියි. ලෝකෙ කිසිම රටක, කිසිම හමුදාවක් මේ තරම් පිරිසුදු යුද මෙහෙයුමක් කරලා නැති බවට පැහැලිදිවම කියනවා. ඒකෙ ගෞරවය ජනපතිතුමා, ආරක්ෂක ලේකම් තුමාගේ පටන් සෙබළා දක්වා ඊට දායක වූ කාටත් හිමිවෙනවා.

l ජිනීවා සමුළුව ළං වෙමින් තිබියදී කලින් කතාවේ වගේම යළිත් අසත්‍ය, ව්‍යාජ ඡායාරූප ඇතැම් බටහිර මාධ්‍ය විසින් නිකුත් කරලා. මේක සැලසුම් සහගත ක්‍රියාදාමයක් බව ද පෙනෙන්නේ ?

එය ඉතා පැහැදිලියි. මේ රට ජාත්‍යන්තර වශයෙන් කොටු කරලා ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා සහ රණවිරුවන් යුද අධිකරණයට ගෙනියන උපක්‍රමය තමයි ඔය දිගහැරෙමින් තියෙන්නේ. එසේ නැතිව ඔය කියන, පෙන්වන දේවල් ඇත්ත නෙවෙයි. ජිනීවා හි එ.ජා මානව හමිකම් කවුන්සිල රැස්වීම ළං වෙද්දී ඕවා එළියට දානවා. මේ බොරු පිළිගන්න තරම් එකෙ සාමාජිකයෝ අඥාන වෙයි කියලා අපි හිතන්නේ නෑ. බටහිර රටවල උපදෙස් හා අණ නොතකා ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ඇති වූ තත්ත්වයක් තමයි මේ.

l පසුගිය දිනෙක විපක්ෂ නායකතුමා, ටී.එන්.ඒ එකත් සමඟ එකතු වී යාපනයේ සත්‍යග්‍රහයක් කළා. මේ කාරණේ ඇති දේශපාලන ගැඹුර ඔබට පෙනෙන්නේ කොහොම ද?

රනිල් වික්‍රමසිංහ මහත්තයා එදා අගමැතිව සිටියදී 2002 පෙබරවාරි 22 වැනිදා එල්.ටී.ටී. ඊ. යත් එක්ක සාම ගිවිසුමක් අත්සන් කරද්දී මා උතුරේ ආඥාපතිව සිටියා. අධි ආරක්ෂක කලාප ඉවත් කරන්න වුවමනාව ඔහුට එදත් තිබුණා. සාමයේ නාමයෙන් ඒවා ඉවත් කරන්න තමයි බැලුවේ. හැබැයි අපි ඒකට දැඩිව විරුද්ධ වුණා. මණ්ඩතිව් දූපත් එදා ත්‍රස්තවාදීන්ට විවෘත වුණා. ඒවා අපිට යුද්ධය දිනා ගැනීමට වඩාත් අසීරු වෙනවා. ඔය ඊනියා සාම ගිවිසුම නිසා ආරක්ෂක අංශවලට විශාල බලපෑමක් ඇති වුණා.

එල්.ටී.ටී.ඊය සියලු හමුදා කඳවුරුවලට පාහේ ආවා. හැබැයි අපට ඔවුන්ගේ කඳවුරුවලට යන්න ඉඩක් තිබුණේ නැහැ. වික්‍රමසිංහ මහත්තයා අගමැතිව සිටි අවුරුදු දෙකේ දී එල්.ටී.ටී.ඊය යුදමය, දේශපාලනික, ආර්ථික ආදී සෑම අතකින්ම ශක්තිමත් වුණා. ඔය සාම ගිවිසුමට මුවා වී තමයි ඒවා සිදුවුණේ. දවසට රුපියල් මිලියන ගණනින් එල්.ටී.ටී.ඊය කප්පම් බදු වලින් මුදල් සෙව්වා. සෑම දෙමළ පවුලකින්ම ළමයි 2, 3 බැගින් බඳවා ගත්තා. තමන්ට එදිරිවාදී මත දැරූ දෙමළ නායකයන් සමූල ඝාතනය කළා. හමුදා බුද්ධි අංශය මුළුමනින්ම වැනසුවා. ඔය හැමදෙයක්ම කළේ වික්‍රමසිංහ මහත්තයා අත්සන් කළ ඊනියා සටන් විරාම ගිවිසුම නිසා. ඒ ගිවිසුමක් එල්.ටී.ටී.ඊය දහස් සංඛ්‍යාත වාර ගණනින් උල්ලංඝනය කළා.

අද වෙද්දී යුද්ධය අවසන් වූ පසු අපේ සොල්දාදුවෝ යුද ටැංකි, නාශක බෝම්බ 1400ක්, පුද්ගල නාශක බෝම්බ 495,000ක්, එල්.ටී.ටී.ඊය නිෂ්පාදන කළ බෝම්බ 500,000ක් විතර ගොඩ අරන් නිෂ්ක්‍රීය කර තිබෙනවා. ජීවිත අවදානමක් අරන් මේවා කළේ උතුරේ අහිංසක දෙමළ වැසියන් නැවත ඔවුන්ගේ ගම්බිම් වල පදිංචි කර වන්නයි. අපේ සොල්දාදුවෝ එහෙම කරද්දී විපක්ෂ නායකතුමා ටී.එන්.ඒ. එකේ අය ඔය මිනිස්සුන්ට එක තේ කෝප්පයක් දුන්නද?

හමුදාව ඒ දෙමළ වැසියන්ට ගෙවල් 4000ක් හදලා දුන්නා. අද සත්‍යග්‍රහ කරන අය එදා ටකරමක් හරි ඒ මිනිස්සුන්ට දුන්න ද? යාපනය විශ්වවිද්‍යාලයට හමුදාව ඇතුළුවුණා කියනවා. ඒ ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදී නායකයා වෙනුවෙන් පහන් පත්තු කරන්න හදපු නිසා. ත්‍රස්තවාදීයෙන්ව සමරන්න ඉඩදෙන්න බෑ. හිලරි ක්ලින්ටන්ටත්, ඔබාමා, බින්ලාඩ්න් සමරලා පහන් පත්තු කරන්න ඉඩ දෙයිද? ඒ වගේ තමයි මේකත් කරන්න දෙන්න බෑ. අදටත් දෙවන ලෝක යුද්ධය ඉවර වෙලා අවුරුදු 60 ගණනක් ගිහිල්ලත් හිට්ලර් සමරලා ජර්මනියෙවත් පහන් පත්තු කරන්නේ නෑ. ඔහු රාජ්‍ය නායකයා වුණත් එහෙම කරන්නේ නෑ.

මේවා කරලා වෑයම් කරන්නේ නැවතත් බෙදුම්වාදීන්ට ඉඩ හදන්නයි. එදා එල්.ටී.ටී.ඊයට බලෙන් ළමයි ඇදගෙන යද්දී ඊට එරෙහි වුණු විදුහල්පතිවරු මරලා දාද්දී වචනයක් කතා නොකළ විපක්ෂ නායකතුමා ටී.එන්.ඒ එකට අද මේ ගැන කතාකරන්න සදාචාරාත්මක අයිතියක් නෑ.

l ඇතැම් මූලධර්මවාදී කල්ලි ආගමික වශයෙන් ගැටලු ඇති කර රටේ ඇති සහජීවනයත්, ස්ථාවරයත්වයත් බිඳ දැමීමේ වෑයමක යෙදෙනවා. හලාල් බලෙන් පැටවීමත් එවැනි උපක්‍රමයක් විය නොහැකි ද?

විශේෂයෙන් නැෙඟනහිර පළාතේ මන්ත්‍රීවරයෙක් හැටියට මං හොඳීන් දන්නවා අම්පාරේ සිංහල - දෙමළ - මුස්ලිම් ජනකොට්ඨාස සහජීවනයෙන් ජීවත් වෙනවා. සාමාන්‍ය ජනයා අතර ජාති ආගම් භේද නැහැ. හැබැයි පටු පරමාර්ථ මත බලයට ඒම අරමුණු කළ දේශපාලනඥයන් ජාතිවාදය -ආගම්වාදය පතුරවන්න වෑයම් කරනවා. ඒකට එරෙහි වෙනකොට කියන්නේ ජාති වාදීන් කියලා. ජාතිවාදයයි, ජාති වාත්සල්‍යයි දෙකක්. තමන්ගේ ජාතියට ආදරය කිරීම, අනතුරක් වනවා නම් පෙරට ඒම ජාතිවාදය නොවෙයි. සිංහල බෞද්ධයා කිසිදාක ජාතිවාදී වුණේ නෑ.

අපි හලාල් සංකල්පයට ගරහන්නේ නෑ. හලාල් භාණ්ඩ සඳහා මුස්ලිම්වරුන්ට ඇති අයිතිය වගේම අන්‍යාගමිකයින්ට එය ප්‍රතික්ෂේප කිරීමේ අයිතියත් තියෙනවා. හලාල් භාණ්ඩ සඳහා වැඩි මිලක් ගෙවීමට ඔවුන්ට සිදුවීම අසාධාරණයි. හලාල් ඒ අන්‍යාගමිකයන් මත බලෙන් පැටවීම නොකළ යුතුයි. මං හිතන්නේ මේ ප්‍රශ්නයේදී සිංහල නායකයින්ට වඩා මුස්ලිම් නායකයන් ඉදිරිපත් වෙලා මේ කාරණය විසඳාගත යුතුයි. මුස්ලිම්වරු 10% ක් විතර ඉන්නෙ. අනෙක් 90% සිංහල හා දෙමළ. හලාල් නිසා ඔය 90% මුස්ලිම් වෙළෙඳ ව්‍යාපාර ප්‍රතික්ෂේප කළොත් මොකද වෙන්නේ? රටේ පවතින ජාතික, ආගමික සහජීවනය වගේම ස්ථාවරත්වයත් රැක ගැනීමට වගකිවයුතු දේශපාලන හා ආගමික නායකයන් කටයුතු කළ යුතුයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා