මුද්‍රණය සඳහා

 
සංචාරක වීසාවලට ව්‍යාපාර අයිතිය දීලා

සංචාරක වීසාවලට ව්‍යාපාර අයිතිය දීලා

සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් ගැන දිගටම පරීක්ෂණ

ආයෝජකයන්ගෙන් ලැබූ සන්තෝසම් ගැනත් තොරතුරු

ලියාපදිංචි සහතික පෙන්නා නේවාසික වීසාත් අරන්

බුද්ධි අංශ මෙහෙයුම්වලින් දැනටම 15ක් අත්අඩංගුවේ

විදේශීය ආයෝජකයකු මෙරට ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමේ දී අනුගමනය කළ යුතු නීත්‍යනුකූල ක්‍රියා පටිපාටියක් සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව තුළ තිබුණ ද, එය කිසිසේත් ම සැලැකිල්ලට නො ගෙන රජයට ලැබිය යුතු ආදායම් මාර්ග ද කපා හරිමින් එම ආයෝජකයනට හොර පාරෙන් ව්‍යාපාරික අවස්ථා ලබා දුන් රාජ්‍ය නිලධාරීන් පිරිසක් පිළිබඳ ‍තොරතුරු ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශය හා විමර්ශන අංශය හෙළි කර ගෙන තිබේ.

මේ රාජ්‍ය නිලධාරීන් විදේශීය ආයෝජකයන් වෙතින් ලබා ගත් සන්තෝසම් මුදල් හා වෙනත් වරප්‍රසාද ගැන ද දැන් තොරතුරු හෙළිවෙමින් පවතින අතර සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් ගැන විශේෂ පරීක්ෂණයක්ද පැවැත්වේ. එසේ ව්‍යාපාර ලියාපදිංචි කරගෙන ඇති එම විදේශිකයන් එම ලියාපදිංචි සහතිකය ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර එහි නිලධාරීන් නොමඟ යවා නේවාසික වීසාද (RESIDENSE) ලබාගෙන තිබේ. මේ ආකාරයෙන් සමාගම් ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ රෙගුලාසි අනුගමනය නොකරමින් සංචාරක වීසා ඇති විදේශිකයන්ගේ නමින් ලියාපදිංචි කරන ලද ව්‍යාපාර විශාල ප්‍රමාණයක් එම විමර්ශන අංශය මඟින් සොයාගෙන ඇත.

සංචාරක වීසා හරහා මෙරටට පැමිණ නීති විරෝධී ලෙස විවිධ ව්‍යාපාර පවත්වාගෙන යන විදේශිකයන් කොටු කර ගැනීම සඳහා ආගමන විගමන බුද්ධි නිරීක්ෂණ හා විමර්ශන අංශය මඟින් පසුගිය දින තුනක් තිස්සේ සිදු කරන ලද මෙහෙයුම්වලදී එසේ ලියාපදිංචි කරන ලද ව්‍යාපාරවල තොරතුරු හෙළි කර ගැනීමට හැකිවී තිබේ.

හික්කඩුව, ගාල්ල, මාතර ඇතුළු ප්‍රදේශවලින් එසේ සිදු කරන ලද මෙහෙයුම්වලින් සංචාරක වීසා ලබාගෙන මෙරටට පැමිණ නීති විරෝධී ව්‍යාපාර පවත්වාගෙන යන විදේශිකයන් පහළොස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් මෙසේ ව්‍යාපාර පවත්වාගෙන යමින් මෙරටට පැමිණෙන සංචාරකයන් ඔවුන් වෙත හරවාගෙන ඔවුන් වෙනුවෙන් නවාතැන් පහසුකම්, ආපන ශාලා, ආහාර පාන පමණක් නොව සංචාරකයන් මෙරට තුළ සංචාරය කිරිම සඳහා අවශ්‍ය ගමන් පහසුකම් සැපයීමද සිදු කරනු ලබයි. මාස හයකට වරක් මෙරටට පැමිණෙන සංචාරකයන්ට අවශ්‍ය දෑ සැපයීමෙන් මෙරට සංචාරක ව්‍යාපාරයේ රැකියාවල නියුතු පිරිස මුදලක් උපයා‍ ගනිති.

එහෙත් සංචාරක වීසා ලබාගෙන මෙරටට පැමිණ සංචාරක ව්‍යාපාරයේ යෙදෙන විදේශිකයන් දේශීය ව්‍යාපාරිකයන්ගේ ආදායම සුරාගෙන නැවතත් එම ආදායම ඔවුන්ගේ රටවලට ගෙනයාම වක්‍රාකාරව සිදු කරති.

තවද ව්‍යාපාරයක් වෙනුවෙන් ඔවුන් රජයට ගෙවිය යුතු බී.ටී.ටී. වැට් ඇතුළු විවිධ බදු වර්ග ගෙවීමද සිදු නොවේ. විදේශිකයන්ගේ මෙම ජාවාරම් නිසා සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම අහිමිව පීඩාවට පත් දකුණු පළාත් සංචාරක සංගමය විසින් කරන ලද පැමිණිල්ලක් මත මෙහෙයුම් ආරම්භ කෙරුණි.

එම මෙහෙයුමේදී සංචාරකයන්ට මත්ද්‍රව්‍ය පවා මෙම ව්‍යාපාරික සංචාරකයන් විසින් සපයන බවට තොරතුරු හෙළිකර ගැනීමට හැකි වී තිබේ. දකුණු පළාත තුළ පමණක් නොව දිවයිනේ සෑම ප්‍රදේශයකම විදේශීය ජාවාරම්කරුවන් මෙම නිල නොවන සංචාරක ජාවාරම කරගෙන යන බවටද තොරතුරු හෙළිවී තිබේ. විවිධ පුද්ගලයන්ගෙන් කුලියට ගන්නා නිවාස, කුඩා වෙළෙඳ සැල් ආදියේ මෙම ව්‍යාපාර කරගෙන යති. අත්අඩංගුවට ගත් පිරිස අතර ඉතාලි, පාකිස්තාන්, රුසියා, චීන, ඉන්දියන් ජාතිකයෝ සිටිති. අත්අඩංගුවට ගත් පිරිසගෙන් දැනට ප්‍රශ්න කරගෙන යන අතර ඔවුන් රටින් පිටුවහල් කිරීමටද නියමිතව ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තු පාලක ජෙනරාල් චූලානන්ද පෙරේරා මහතාගේ උ‍පදෙස් මත ආගමන විගමන ප්‍රත්‍යප්ත පාලක නිහාල් රණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ආගමන විගමන බුද්ධි නිරීක්ෂණ හා විමර්ශන අංශය මගින් වැටලීම සිදු කෙරුණි.

මෙරට තුළ නීති විරෝධී ජාවාරම්වල යෙදෙන විදේශිකයන් පිළිබඳ තොරතුරු ලබා දෙන පුද්ගලයන්ට ස්තූතිය පළ කරන බුද්ධි හා නිරීක්ෂණ අංශය තවදුරටත් එවැනි තොරතුරු වෙතොත් දුරකථන අංක 011 5329490ට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]