මිහින් ලංකා-ශ්‍රී ලංකන් ගුවන් ගමන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා

මිහින් ලංකා-ශ්‍රී ලංකන් ගුවන් ගමන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා

මත්තල මහින්ද රාජපක්ෂ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආරම්භ වීමත් සමඟම මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් ගුවන් සේවාවන් මත්තල ගුවන්තොටුපොළ හරහා තම ගුවන් ගමනාන්ත කරා ගමන් කිරීමට සැලසුම් කර තිබේ.

මේ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා මත්තල හරහා මැදපෙරදිග රටවලට සහ චීනය වෙත ළඟාවීමට සැලසුම් කොට තිබේ.

මිහින් ලංකා ගුවන් සේවය මත්තල හරහා ගයා ගුවන්තොටුපළට ළගා වීමට නියමිතය.

දකුණු පළාත් ජනතාවට බුද්ධගයාව වන්දනා කිරීම සඳහා මිහින් ලංකා ගුවන්යානා මත්තල හරහා ගමන් කරවීමට කටයුතු යොදා ඇතැයි මිහින් ලංකා ගුවන් සමාගමේ විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේය. මේ ප්‍රදේශවල වන්දනාවේ යන ජනතාවට කොළඹට ළඟා වීම අවශ්‍ය නොවේ.

එමෙන්ම මේ ප්‍රදේශවල ජනතාවගේ ඉල්ලීම පරිදි මත්තල සිට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම කෙරෙහිද අවධානය යොමුවී තිබේ. දකුණු පළාත් ජනතාවගේ අවශ්‍යතා අනුව ගුවන් ගමනාන්ත මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා ගමන් කරවීමට කටයුතු යොදන බව සිවිල් ගුවන් සේවා ඇමැති පියංකර ජයරත්න මහතා අවධාරණය කර සිටී. මත්තල දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ මාර්තු 18දා ජනතා අයිතියට පත් කෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා