එ.ජා මානව හිමිකම් සැසිවාරය අද ඇරඹේ

එ.ජා මානව හිමිකම් සැසිවාරය අද ඇරඹේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 22 වැනි සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී අද (25) ආරම්භ වෙයි. මේ සැසිවාරය එළඹෙන මාර්තු මස 22 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් සහභාගී වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ජගත් මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී ශී‍්‍ර ලංකා නියෝජිත පිරිස මෙහෙයවීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඇමැති මහින්ද සමරසිංහ මහතා පත්කර ඇති අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට ඇතුළත් වෙති.

මේ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම අද (25) ජිනීවා බලා පිටත්ව යාමට නියමිත අතර මේ මස 27 දා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.20 ට ඇමැති මහින්ද සමරසිංහ මහතා සමුළුව ඇමැතීමට නියමිත බවද එහිදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම මෙන්ම ප්‍රවර්ධනය වෙනුවෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග සහ උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන තිබෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කරුණු දක්වන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි..

ජගත් මානව හිමිකම් කවුන්සලයේදී එල්ල වන ඕනෑම අභියෝගයකට සාර්ථකව ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම සූදානමින් සිටින අතර ඊට අමතරව කවුන්සලයේ සාමාජික රටවල් රැසක් ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීම සඳහා සූදානමින් සිටින බවද එම අමාත්‍යාංශය පෙවන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය සහ සුරක්ෂිත කිරීම සඳහා ගෙන තිබෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන විවාදය මේ මාර්තු මස 11 හා 12 දිනයන්හිදී ජගත් මානව හිමිකම් කවුන්සලයේදී සිදු කිරීමට නියමිත අතර ඊට අමතරව ශ්‍රී ලංකාව සඳහා වැදගත් වන විශ්ව කාලීන වාර්තාව සම්බන්ධයෙන් වන විවාදය එළඹෙන 15 දා පැවැත්වීමට නියමිතව ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මාර්තු මස 20 වැනිදා වාර්තාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති අතර ඇමෙරිකා එක්සත් ජනපදය විසින්ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. එය මාර්තු මස 21 වැනිදා සිදුකෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා